brand logo

සතිදෙකෙන් මිලියන දෙකක් පිස්සු වට්ටපු හඬ සහ හැඩ

17 January 2021

‘නිල්වන් මුහුදු තීරේ... ගල් මල් පිපුණ යායේ... මා තනිවෙලා නැව් තලේ... ඈ ඇත ඇගේ යහනතේ...’ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරමින් ඩෙස්මන් ද සිල්වා ගැයූ මේ ගීතය නැවතත් කරළියට ඇවිත්. නමුත් මෙවර ගීතය ගායනා කරන්නේ හෙක්ටර් ඩයස්. නිල්වන් මුහුදු තීරේ අලුත් ගීතය යූටියුබ් එකේ සතියක් තුළ නැරඹුම් වාර මිලියන 2ක් සනිටුහන් කළ නිසාම මේ ගැන හෙක්ටර් ඩයස් එක්ක කතා කරන්න සිතුවා. ‘නිල්වන් මුහුදු තීරේ’ ගීතයම කරන්න ඕන කියන කාරණාව හෙක්ටර්ගේ හිතට දැනුණේ කොහොමද, කියන තැනින්ම කතාව පටන් ගත්තා... ‘‘ඩෙස්මන් අංකල් ගායනා කරපු මේ ගීතයට මම හුඟක් කැමැතියි. පුංචි කාලේ ඉඳලම ප්‍රසංග වේදිකාවෙත් මම මේ ගීතය ගායනා කරනවා. ඩෙස්මන් අංකලුත් දන්නවා මම මේ ගීතයට හුඟක් කැමැතියි කියලා. මම ඩී මේජර් බෑන්ඩ් එක පටන් අරගෙන කරපු පළවැනි ප්‍රසංගයටත් ඩෙස්මන් අංකල් ඇවිත් ගීත ගායනා කළා. ඇමරිකාවේ ඉඳලා අංකල් ලංකාවට ආපුවාමත් දවස් කීපයක් අපේ ගෙදර ඉන්නවා. මම මේ ගීතය ගායනා කරන්න කැමැතියි කිව්වාම ඩෙස්මන් අංකල් ලිඛිතවම මට මේ ගීතයේ අයිතිය දුන්නා. සාමාන්‍යයෙන් කවර්ස් සෝන්ග් එකක් විදිහට කරලා මෙච්චර ගීතය ජනප්‍රිය වෙයි කියලා නම් හීනෙකින්වත් මම හිතුවෙ නැහැ. නමුත් මේ ගීතයට මම එකතු කරපු අලුත් දේවල් නිසා ගීතය මේ තරම් ජනප්‍රිය වෙන්න ඇති කියලා මට හිතෙනවා. මම ගීතය අලුතෙන් කළාට පස්සේ ඩෙස්මන් අංකල් ගීතය බලලා හුඟක් සතුටු වුණා. සමහර ප්‍රවීණ ගායකයෝ ඔවුන්ගේ ගීතයක් කිව්වාම නඩු දාන, උසාවි යන්න තරම් කුහකකම් කරන සමාජයක ඩෙස්මන් අංකල් කියන්නේ රත්තරන් මනුස්සයෙක්. ඔහුගේ පැරණි ගීතය නව පරපුර වෙනුවෙන් දීලා ඔහු සතුටු වෙන හැටි මම ඇස් දෙකෙන්ම දැක්කා. සින්දුව මට දුන්නට ඒක ඒ විදිහටම කරන්න හිතුණේ නැහැ. ෆ්ලෑෂ් බෑක් එකේ අරුණ තමෙල්ගේ ස්ටූඩියෝ එකේ තමා මේ ගීතය රෙකෝඩ් කළේ. මම දවසක් අරුණ එක්ක කතා කර කර ඉන්නකොට ඔහුගේ අවුරුදු 14ක පුතා කරලා තියෙන ට්‍රැක් වගයක් මට ඇහුණා. පුංචි එකාගේ දක්ෂකම ගැන මට හිතාගන්න බැරිවුණා. මට හිතුණා නිල්වන් මුහුදු තීරේ ගීතයේ අලුත් සංගීත සංයෝජනය පොඩි එකාට භාරදෙන්න. කෙවින් තමෙල්ව මට අහම්බෙන් මුණ ගැහෙන්නේ ඔය ආකාරයට.’’ ‘‘පුතේ වැඩක් තියෙනවා කරමුද?’’ ‘‘මම පොඩි එකාගෙන් ඇහුවා.’’ ‘‘කරමු අංකල්... කෙවින් ගත් කටටම උත්තර දුන්නා. මම සින්දුව කෙවින්ට දීලා දින කීපයකින් ආපහු යනකොට මාර මියුසික් පාට් එකක් ගීතයට එකතු කරලා තිබුණා. ඇත්තටම මට අදහාගන්න බැහැ. පොඩි එකා මාර වැඩ්ඩා... ඔහු ගීතයට වෙනම ආර්ට් එකක් ලබාදුන්නා කියලා මට හිතෙනවා. අවසානයේ කරන්න ගිය සින්දුව නෙවේ නිර්මාණය වුණේ, අලුත් දේවල් එකතු කරපු වෙනස්ම ගීතයක්, අරුණ ළඟම ගීතය රෙකෝඩ් කළා. කෙවින් එක්ක වැඩ කරනකොට මාර ගැම්මක් හිතට දැනුණා. පොඩ්ඩා ඉගෙන ගන්නේ ජෝශප් වාස් විද්‍යාලයේ. මමත් ගියේ ජෝශප් වාස් එකට. මේ ගීතය තුළින් යුග දෙකක් එකතු කරන්න අවස්ථාව ලැබුණා. සින්දුව අතට ගත්තට පස්සේ තමයි වීඩියෝ එක ගැන කල්පනා කළේ. ඉරේෂ් ඩයස් කියන ඡායාරූප ශිල්පියා තමා මට යෝජනා කළේ ටීනා ෂනෙල්ව වීඩියෝ එකට ගමු කියලා. මම කලින් ටීනව අඳුනන්නේ නැහැ. ටීනව දැක්කට පස්සේ මට හිතුණා වැඩේට හොඳම කෙනා ඇය කියලා. ටීනා තමා යෝජනා කළේ මේ ගීතයේ නිර්මාණ කාර්යය සංදේශ් බණ්ඩාරට දෙමු කියලා. සංදේශ් කියන්නේ නව නිර්මාණවලින් ඉදිරියෙන්ම සිටින තරුවක් නිසා මම ඔහුට කතා කළා. මට කොහොමද ගීතය ඕන කියන එක ඔහු ​තේරුම් ගත්තා. මිරිස්ස මුහුදු තීරයේ ගීතය රූපගත කරමු කියන එක මගේ අදහසක්. ගීතය මට ලැබුණ දවසේ සිට සති දෙකක් ඇතුළත වීඩියෝ එකත් කරලා අපි නිමා කළා.’’ නිල්වන් මුහුදු තීරේ නිර්මාණය නිමවුණ ආකාරය ගැන හෙක්ටර් එක දිගට කියාගෙන ගියා. මේ ගීතය තුළින් හෙක්ටර් ඩයස් කියන ගායකයාට අමතරව නළුවා මතුවෙනවා. ‘‘හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මගේ ගීතයේ රූප රාමුවට මම ම ඉඳලා වෙනස්ම දෙයක් ලබාදෙන්න ඕන කියන කාරණාවේ තමා මම උන්නේ.’’ මැදිවියේ සිටින හෙක්ටර් ඩයස්ගේ කොල්ලන් පරදන පෞරුෂය ගැන කතා නොකර උන්නොත් ඒක ලොකු අඩුවක් කියලා මට හිතුණා. ‘‘කොහොමටත් මම ශරීර සෞඛ්‍යය ගැන හිතනවා. මම හිතන්නේ සතුටින් ඉන්න එක තමා එකම හේතුව. සතුටින් ඉන්නකොට මුළු බොඩි එක පුරාම තියෙන ලේ පිරිසුදු වෙනවා. හොඳ ලේ ගමනාගමනයක් ඇතිවෙනවා. මම විශ්වාස කරනවා තරුණ බව රැකගන්න නම් ලේ පිරිසුදුව තියෙන්න ඕන කියලා.’’ ඔහු එහෙම කිව්වත් කොණ්ඩයවත් ඩයි නොකර සිටින්නේ ඇයිද කියන එක නොඅසා කොහොමද? ‘‘මම මගේ ස්වාභාවික පෙනුමට කැමැතියි. මොකටද කොණ්ඩෙ ඩයි කරන්නේ... ලෝකෙන් හැංගුණාට හදවතින් හැංගෙන්න බැහැනේ. වයසට යනකොට කොණ්ඩේ, රැවුල ඉදෙනවා, සම රැලි වැටෙනවා. එයට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතුමයි. හෙක්ටර් ඩයස් ඒ හැම දේකටම සතුටින් මුහුණ දෙනවා. අවුරුදු 80ක් ගියත් මම මේ විදියටම ඉඳියි.’’ සති‍දෙකක් තුළ ලක්ෂ 20ක් ඉක්මවා යන ප්‍රතිචාර අතරේ ඔහු මේ දිනවල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබනවා. ‘‘හිතාගන්න බැරි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ගීතය අවුරුදු 50ක් විතර පරණ වුණාට අන්තර් ජාලයේ වැඩියෙන්ම නරඹලා තියෙන්නේ අවුරුදු 18-21ත් අතර තරුණ අය. මම හිතන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් වැනි දැවැන්තයන්ගේ පද මාලාවන් අවුරුදු සීයක් ගියත් මැරෙන්නේ නැහැ. මොකද හදවතට දැනෙන ආදරය හැමදාමත් එක වගේමයි. පැරණි වචනවලට මම එකතු කරපු සැක්සෆෝන්පාට්එකත් නැගලා යනවා. මොකද සැක්සෆෝන් එක කියන්නේ මගේ ආත්මය. ඒකයි ගීතයේ නොතිබුණ සැක්සෆෝන්පාට් එකක් මම ගීතයට එකතු කළේ.’’ ගීතය ගැන කතා කරනවා වගේම හෙක්ටර් ඩයස්ගේ සංගීත ජීවිතය ගැන දැන ගන්නත් බොහෝ දෙනෙක් කැමැතියි. අවුරුදු 25කට වඩා ක්ෂේත්‍රයේ රැඳී සිටි ඔහු වඩාත්ම ප්‍රසිද්ධ සැක්සෆෝන් වාදකයෙක් හැටියටයි. ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටි මේරියන්ස් කණ්ඩායමෙන් ඉවත් වෙලා හෙක්ටර් තනි ගමනක් යන්න අභියෝගාත්මක තීරණයක් අරගන්නවා. අද ඔහු භුක්ති විඳින්නේ ඒ එඩිතර තීරණයේ අතුරු ඵලය නොවේද... ‘‘ඇත්තටම මේරියන්ස් එකෙන් අයින් වෙන්න ගත්ත තීරණය මම නියම වෙලාවට අරගත්තේ. මට හිතුණා කණ්ඩායමක සාමාජිකයෙක් විදිහට උන්නා ඇති කියලා. මගේම දෙයක් කරන්න මට තව කෙනෙක් යටතේ ඉඳලා බැහැ. මට ඕන වුණේ එකොස්ටික් පැත්තෙන් අලුත් දෙයක් කරන්න. එළියට ඇවිත් මම ඩී මේජර් බෑන්ඩ් එක නිර්මාණය කළා. මම හිතන්නේ බෑන්ඩ් එකකින් ප්‍රශ්නයක් ඇතිකර ගන්නේ නැතිව නීත්‍යනුකූලව එළියට ඇවිත් සාර්ථක ගමනක් ආපු එකම කෙනා මම වෙන්න ඇති. ඒක නලින් පෙරේරා වුණත් ඕනම තැනක කියනවා. අදටත් මමයි, නලින් පෙරේරයි හොඳ යාළුවෝ. මම මේ ඉන්න තැන ගැන වැඩියෙන්ම සතුටු වෙන කෙනෙක් තමයි ඔහු.’’ නමුත් මේ දිනවල සංගීත කණ්ඩායම්වල තත්ත්වය යහපත් නැහැ. කොරෝනා ප්‍රශ්නය හෙක්ටර් ඩයස්ගේ ඩී මේජර් කණ්ඩායමටත් දැඩි ලෙස බලපා තිබෙනවා. ‘‘මුළු ලෝකයටම ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා ඉවසගෙන ඉන්න වෙනවා. ගිය මාස නවයට වැඩ 106ක් දින නියමයක් නැතිව කල් ගියා. අපේ බෑන්ඩ් එකේ හොඳම කාලේ තමා මේ ආකාරයට අහිමි වුණේ. කැලැන්ඩරයෙන් 2020 අවුරුද්ද අයින් කරලා දැම්මත් වරදක් නැහැ. මොකද කිසිම ආදායමක් නොලැබුණ දුෂ්කර වසරක් නිසා. මේ ආකාරයට සියල්ල කළමනාකරණය වුණත් දරාගන්න බැරි වේදනාවක් හෙක්ටර් ඩයස්ගේ සිතේ හැම මොහොතකම තියෙනවා. කොරෝනා වසංගතය නිසා හෙක්ටර්ව දයාබර බිරියගෙන් සහ දරුවන්ගෙන් ඈත්ව කාලය ගත කරන්න සිද්ධවෙලා. ‘‘මගේ බිරිඳයි, දරුවෝ තුන්දෙනයි ඉන්නේ ප්‍රංශයේ. හැම නත්තලකටම මම එයාලව බලන්න එහෙට යනවා. නමුත් මේ නත්තලේ මේ වයිරසය ඒකට හරස් වුණා. අවුරුද්දකින් මගේ පැටව් තුන්දෙනාව තුරුල් කරගෙන නැහැ. රෑට නින්ද යන්නේ නැහැ... හීනෙන් පොඩි එවුන්ව පේනවා. දැන් මට ඕන ඉක්මනට මගේ දරුවෝ තුන්දෙනා ළඟට යන්න...’’ ප්‍රංශයේ සිටින පහළොස් හැවිරිදි ඩෙවින්, දහතුන් හැවිරිදි ඩියෝනා සහ දස හැවිරිදි ඩෙලෝන් ගැන සිහි කරන්නේ දරාගත නොහැකි වූ වේදනාවකින්. සංගීත ක්ෂේත්‍රයේ දශක ගාණක් නිහඬ ගමනක් ආ හෙක්ටර් ඩයස්ව මේ ආකාරයෙන් අවදිකරන්න ලැබීම ප්‍රේක්ෂක ජනතාවගේ සතුටට කාරණාවක් බව කිව යුතුමයි. ඉදිරි සංගීත කටයුතු ගැන ඔහුගේ අදහස විමසමින් ඔහුට සමු දුන්නේ අපේ ආදරයද ඔහුට තිළිණ කරමින්... ‘‘ඉදිරියටත් මේ විදිහටම නිහඬව මගේ ගමන යනවා. කොහොමත් මම සද්ද දාගෙන බොරු ෂෝ කරන කෙනෙක් නෙවේ. කාලයත් සමග ජීවත් වෙනවා. මගේ පෙනුම වගේම තමා ගෙවෙන සරල ජීවිතයත්..මගේම ගීත කීපයකුත් සමග ඩි මේජර් සංගීත කණ්ඩායමේ අලුත් නිර්මාණ සමගින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.’’ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..