brand logo

සජින් වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය පෙබ. 25 වැනිදා

11 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කළ කාලසීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ලබන 25 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (11) නියෝග කළේය. මෙම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහරිනු ලැබ සිටින විත්තිකාර සජිත් වාස් ගුණවර්ධන හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ සියළු ලේඛණ විත්ති පාර්ශ්වය වෙත මේ වනවිට බාරදී ඇතැයි දැනුම් දුන්නේය. ඒ අනුව නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස ද රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන 25 වන දා ආරම්භ කරන බව නියෝග කළේය. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙසද මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී. 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර නීතිපතිවරයා විසින් හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. (අධිකරණ වාර්තාකරු)
 

More News..