brand logo

සජින් ද වාස් 12 වනදා තෙක් රිමාන්ඩ්

27 February 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් කෝටි 30 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කරගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙන හෙයින් ඔහු ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ යළි ආරම්භ විය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මෙම නඩුව   සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින විත්තිකාර සජින් වාස් ගුණවර්ධන නමැත්තා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි දැනුම් දුන්නේය. මෙම තත්වය හමුවේ විත්තිකරු තවදුරටත් ඇප මත නිදහස්ව සිටිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන බවත් ඒ තුළින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
 එම කරුණ  සැලකිල්ලට ගෙන එම නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකරුගේ සාක්ෂි විභාගය අවසන් වන තුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම  නියෝගයක් නිකුත් කරන ලෙසද රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඇප මත මුදාහරිනු ලැබ සිටි විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාව ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස රුපියල් තිස් කෝටියකට අධික වත්කම් හා මුදල් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
 

More News..