brand logo

සජින්ට එරෙහි නඩුව පෙබරවාරි 25 වැනිදා සිට දිනපතා විභාගයට

01 October 2019

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ අයථා ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින එක්සත් ජනතා නිදහස්් සන්ධානයේ හිටපුුුු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ලබන වසරේ පෙබරවාරි මස 25 වනදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (01) නියෝග කළේය. ඒ අනුව අදාළ නඩුව පෙබරවාරි මස 25 වනදා සිට 28 වනදා දක්වා විභාග කිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ සාක්ෂිකරුවන් පස්දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළේය. මෙම නඩුව කැඳවු අවස්ථාවේදී විත්ති වෙත ලබා දිය යුතු ලේඛන නිසි පරිදි ලබා දී ඇති බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් නඩුව නැවත නොවැම්බර් මස 01 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරික්ෂාකර බලා අඩුපාඩු තිබේනම් එදින අධිකරණයට කරුණු වාර්තා කරන මෙන්ද විත්තියේ නීතිඥවරුන්ට නියෝග කරන ලදී. 2015 වසරේ පෙබරවාරි මස 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ද විමර්ශනයකින් අනතුරුව මෙම නඩුව ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබේ. 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ. මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් රුපියල් 306,268,194/- ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව ද නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.
 

More News..