brand logo

සජිත් හදවත තෝරගන්න කොට මහින්ද ගෝඨාභය ජනතා හදවත් සොරකම් කර අවසන්

11 February 2020

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත සන්ධානයේ ලකුණ ලෙසට හදවත තෝරා ගත්තත් ඉන් කිසිදු පලක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පල කළේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් අදහස් දැක්වමින් මෙලෙස කීවේය.. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භකරන සන්ධානයේ ලකුණ ලෙසට හදවත තෝරා ගත් බවට මැතිවරණ කොමිසම හරහා අපට දැනගන්නට ලැබුණා. නමුත් මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමන් නොදන්නා දේ නම් එතුමන් හදවත තෝරා ගන්නා විට මහින්ද ගෝඨාභය සුසංයෝගය ජනතා හදවත් හොරකම් කර අවසන්. 2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට හොරා හොරා කියලා පැරැද්දුවහම අපි නුගේගොඩ මහා දැවැන්ත සෙනගක් ගෙනල්ලා මොකද්ද පෙන්නුවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් කර ඇත්නම් ඒ සොරකම් කර ඇත්තේ ජනතාවගේ හදවත් පමණයි කියන එකයි. 2015 පෙබරවාරි මස 18 වෙනිදා අපි ලෝකයට කිව්වේ එයයි. අපි හදවත මහින්ද-ගෝඨා සුසංයෝගයේ ලකුණ බවට පත්කළේ 2015 පෙබරවාරි මස 18 ‍වෙනිදායි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඇතුළු නව සන්ධානය පුදනකොටම කාපි යකා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සලකුණ ලෙසින් ගෞරව කරන හදවත සිය ලකුණ බවට පත් කරගන්නට යෑමෙන් සිදුකර ඇත්තේ තමන්ට අහිමි දෙයක් තමන්ගේ කරගන්නට යාමයි. මීළඟ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ආවිට සජිත් ප්‍රේමදාස මැතිතුමාට වෙන්නේ “ හිමිනැති ළදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා “ කියලා ඉකිබිඳලා අඩන්නයි. එමෙන්ම අලුත් සන්ධානයක්, අලූත් සන්ධානයක්, කිව්වට මෙහි අලුත් සන්ධානයක් නැහැ. 2019 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කිරීමට එකතුවුනු පක්ෂවත් අද සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැති කරන තැන නැහැ. පසුගිය ජනාධිපතිවරණ සටනේ සජිත් ප්‍රේමදාස සන්ධානයේ ප්‍රබලතම පාර්ශවකරුවෙකු වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. නමුත් දෙමළ ජාතික සන්ධානය ද මේ වන විට හදවතින් ගිලිහී ගිහින් තියෙනවා. එහෙම නම් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්දවත් ලබාගත නොහැකි සන්ධානයක් තමයි මෙවර ඉදිරිපත් වන්නේ. ජනාධිපතිවරණයේ දී හිමිවුණේ පරාජය නම් මෙවර අන්ත පරාජයක් හිමිවන බව මේ සන්ධානය දිහා බැලුවම කිව හැකියි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණු පක්ෂ ටිකමයි ඔතන තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය, පාච රණවක මැතිතුමාගේ ජාතික හෙළ උරුමය, රවුෆ් හකීම් මැතිතුමා ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාද් බදියුදීන් මැතිතුමාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මැතිතුමා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, මේ කට්ටිය ඔය විදිහටම 2015දීත් හිටියා. ඔයිටත් වඩා වැඩි පිරිසක් පැරදුනු ජනාධිපතිවරණයේදීත් හිටියා. ඒ නිසා අලූත් සන්ධානයක් කියල කිව්වට අලුත් ලකුණක් විතරක් ගෙනාවට ලකුණ හැරුණුවිට අලුත් කිසිම දෙයක් මෙතන නැහැ. අලුත් බෝතලේක පරණ වයින් දාලා ජනතාව රවටන්නට උත්සාහ කිරීමක් විදිහටයි අප දකින්නේ.
 

More News..