brand logo

සජිත් සිරිකොත මගහරී - මෙතෙක් කිසිදු සාකච්ඡාවකට ඇවිත් නැහැ

29 November 2019

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පවත්වන කිසිදු සාකච්ඡාවකට සජිත් ප්‍රේමදාස සහභාගි නොවීම ගැටලුවක් වී ඇත. සජිත් ප්‍රේමදාස නොමැතිව මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වීමෙන් පළක් නැති බව ඊයේ (28 වැනිදා) සිරිකොත පැවැති සාකච්ඡාවේදීද මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ. ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස සහභාගි වී ඇත්තේ කොළඹ තරු පහේ හෝටලයක පැවැති සාකච්ඡාවකට පමණි. එහිදී තමන්ට සහාය පළ කළ හිතවතුන්ට ස්තුතිය පළ කර ඇති සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ තවදුරටත් තනතුරු ඉල්ලා රනිල් වික්‍රමසිංහ සමග වාද නොකරන බවයි. අවශ්‍ය නම් තමන් වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට කැමැති ක්‍රියාමාර්ගයක් ගත හැකි බවත් සජිත් ප්‍රේමදාස පවසා තිබේ. එම රැස්වීමෙන් පසුව මේ දක්වා සජිත් ප්‍රේමදාස කිසිදු රැස්වීමකට සහභාගි වී නැත. ජනාධිපතිවරණ පරාජයෙන් පසු සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතත් පක්ෂයේ නියෝජ්‍ය නායකයකු වන සජිත් ප්‍රේමදාස ඒවාට සහභාගි වී නැත. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් රනිල් වික්‍රමසිංහ විසින් සිරිකොතදී ඊයේ (28 වැනිදා) පැවැති රැස්වීමටද සජිත් ප්‍රේමදාස සහභාගි නොවූ බව පක්ෂ නායකයෙක් පැවසුවේය. කෙසේ වෙතත් ඉදිරි රැස්වීමකට සජිත් පේමදාස සහභාගි කරවීමේ වගකීම තලතා අතුකෝරල සහ රංජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනා භාරගත් බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබිණි. අප මේ පිළිබඳ තලතා අතුකෝරල මන්ත්‍රීවරියගෙන් විමසූ අවස්ථාවේදී ඇය ප්‍රකාශ කළේ එවැන්නක් සිදු නොවූ බවයි. රංජිත් මද්දුමබණ්ඩාරගෙන් අප මේ පිළිබඳ විමසූ විට ඔහු ‘අරුණ’ පුවත්පතට මම කිසිම දෙයක් කියන්නේ නෑ’ යනුවෙන් ප්‍රකාශ කළේ ය. අජිත් අලහකෝන්
 

More News..