brand logo

සජිත් බලය ලැබෙනවා නම් පියන් වගේ නෙමේ පඹයෙක් වගේ හරි ඉන්න කෙනෙක්

02 October 2019

පසුගියදා පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පිරිස කතාබහ කරමින් සිටියේ ගෝඨාභයට එරෙහිව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරමින් යන වැඩපිළිවෙළ සම්බන්ධයෙනි. විවිධ නඩු හොය හොයා ආණ්ඩුව උත්සහ දරනුයේ ගෝඨාභය ඉදිරිපත්වීම වළක්වා ගැනීමට බව මන්ත්‍රීවරුන්ගේ අදහස විය. ‘‘ආරංචියක් තියෙනවා හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා... ඒකේ අරමුණ වෙලා තියෙන්නේ ගෝඨාභයට වැටෙන සිංහල ඡන්ද කඩන එක... මේක පිටිපස්සේ ඉන්නේ වින්‍යා ආරියරත්න කියලා දැනගන්න ලැබුණා... ස්වීඩන්වලින්ලු ආධාර එන්නේ... අනුර දිසානායකත් මේකට සපෝට් කරනවලු...’’ ‘‘මහේෂ් ආවොත් ඡන්ද ලක්ෂ 30ක් ගන්න පුළුවන් කියලා මේ අය කතාවෙලා තියෙනවා... මහේෂ්ව ගාණට අන්දලා තියෙනවා... මේ වැඩේ ජේ.වී.පී. එකත් ඉන්නවා..’’ කෙහෙළිය කීවේ ය. ‘‘ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කළේ මිනිස්සුන්ව අන්දන එකනේ... මතකනේ ෆොන්සේකට කරපු දේ... අපි අවධානයෙන් ඉන්න ඕනේ මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන එක ගැන... හොන්ඩුරාස් රාජ්‍යයේ වෙච්ච දේවල් මතකනේ... ඒ වගේ ඡන්ද ප්‍රතිඵල එන වෙලාවට තාක්ෂණික උපක්‍රම භාවිත කරලා මැතිවරණ කොමසාරිස්ට වැරදි ප්‍රතිඵලයක් යැවීමට පුළුවන්... එහෙම වුණොත් ඒක නිවැරදි කරගන්න වෙන්නෙත් නැහැ...’’ විමල් පෙන්වා දුන්නේය. ‘‘සජිත්ට අපේක්ෂකකම ලැබුණත් වැඩක් නැහැ කියලයි එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් කිව්වේ... රනිල්ගේ කොන්දේසි නිසා ජනාධිපති වුණත් සජිත්ට වෙන්නේ පියන් කෙනෙක් වගේ ඉන්න කියලයි ඒ අය කියන්නේ... හැබැයි ඉතින් සජිත්ට කියන්නෙත් බලය ලැබෙනවා නම් පියන් වගේ නෙමේ පඹයෙක් වගේ හරි ඉන්න පුළුවන් කෙ‍නානේ...’’ ප්‍රසන්න කීවේය.
 

More News..