brand logo

සජිත් පාර්ශ්වයෙන් රනිල් පාර්ශ්වයට බරපතළ විරෝධයක්

26 August 2019

පසුගිය සෙනසුරාදා උදේ, ‘පක්ෂය බේරාගැනීම සඳහා’ සජිත් පාර්ශ්වය වෙනුවෙන් කබීර් හෂීම් සහ මංගල සමරවීරත්, රනිල්ගේ පාර්ශ්වය වෙනුවෙන් රවී කරුණානායක සහ අඛිල විරාජ් යන අයත් රාජිත සේනාරත්නගේ ගෙදරට රැස් වීය. මීට අමතරව ‘පුළුල් පෙරමුණක් සෑදීම වෙනුවෙන් මූලිකත්වයක් ගෙන කටයුතු කරන මනෝගනේෂන් සහ අර්ජුන රණතුංගත් එම සාකච්ඡාවට පැමිණි අතර ‘නවීන් දිසානායක’ ද එහි පැමිණියේ සාකච්ඡාව අවසන් වෙන්නට ඔන්න මෙන්න තිබියදී ය. මේ අවස්ථාවේ දී, අපේක්ෂකයා පක්ෂයෙන් පිට කෙනෙකු වීම වඩාත් වැදගත් බව ‘රනිල් පාර්ශ්වයෙන්’ යෝජනා වූ අතර ‘සජිත් පාර්ශ්වයෙන්’ ඊට බරපතළ විරෝධයක් ඵල්ල විය. එමෙන් ම පුළුල් පෙරමුණේ පක්ෂ කාර්යාලය වශයෙන් ‘සිරිකොත’ යොදාගත යුතු බවට ‘සජිත් පාර්ශ්වය’ විසින් ගෙන ආ යෝජනාවට, මනෝගනේෂන් විරුද්ධ විය. ‘‘එහෙම කළොත් මේක එ.ජා.ප.යේ වැඩක් විතරක් වෙනවා... අනෙක් අයටත් එකතු වෙන්න පුළුවන් වෙන තැනක් ගත්තොත්...’’ මනෝගනේෂන් කීවේ ය. ‘‘අපි සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා වෙච්චි වෙලාවේ පාවිච්චි කළ තිඹිරිගස්යායෙ කාර්යාලයට යමු... එතන කාටත් පුරුදු තැනනෙ...’’ තවත් කෙනෙක් යෝජනා කළේ ය. ‘‘ඒකත් එපා... අපි වෙනම ම තැනක් බලමු... ’’ කිහිපදෙනකු ම කීවේ ය. කෙසේවෙතත්, මෙහිදී ද ‘අපේක්ෂකයා සම්බන්ධයෙන්’ කිසිදු තීන්දුවකට එළඹිය නොහැකි වූ අතර සාකච්ඡාව අවසන් වන විට කබීර් හෂීම් ‘පනස්දෙන්නාගේ පෙත්සම’ ගැන මතක් කරමින් මෙසේ කීවේය. ‘‘සජිත් ව පත් කරන්න කියන කණ්ඩායමේ පෙත්සම මම නායකතුමාට භාරදීලා තියෙන්නෙ... එතුමා ඒ ගැනත් සලකලා බලලා තීරණයක් ගනියි කියල හිතනවා... මොනව වුණත් පක්ෂය කැඩෙන්න දෙන්න බෑ...’’ මේ ආකාරයට මෙම සාකච්ඡාව ඒ තරම් තීරණාත්මක බවකින් තොරව අවසන් විය.
 

More News..