brand logo

සජිත්, පක්ෂයත්, විපක්ෂයත් ඉල්ලයි - රනිල් සමග විශේෂ සාකච්ඡාවක් අද

02 December 2019

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙම අඟහරුවාදා (3 වැනිදා) දිනට පෙර විසඳීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් අද (02 වැනිදා) පැවැත්වීමට නියමිතය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමගද මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. විපක්ෂ නායක අර්බුදය විසඳා ගැනීම සඳහා කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් එම සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස පැමිණියේ නැත. ඒ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට දොස් පවරා ඇත. විපක්ෂ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට ලබාදීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහිදී එකඟ වී තිබේ. එහෙත් විපක්ෂ නායක ධුරය සහ පක්ෂ නායකත්වයද අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීම හේතුවෙන් සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සහයෝගය ලබා දෙන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටින බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සඳහා පක්ෂයේ නිලධාරි මණ්ඩලය සංශෝධනය කිරීමටද නියමිතය. ලබන සතියේදී මෙම සංශෝධනය සිදු කර උප නායක ධුරයට නවීන් දිසානායක මන්ත්‍රීවරයා පත් කිරීමට යෝජනා වී ඇත. දැනට පක්ෂයේ උප නායක ධුරය හොබවන රවි කරුණානායකට වෙනත් තනතුරක් ලබාදීමට නියමිතය. උදයජීව ඒකනායක  
 

More News..