brand logo

සජිත් දිනවන්න මෛත්‍රි යටින් වැඩ කළා

15 December 2019

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා ඇති බව ශ්‍රීලනිපය කියන්නේය. නමුත් ෆවුසි කියන්නේ පක්ෂ සභාපති මෛත්‍රිපාල තමා පක්ෂයෙන් එළවන්න හදන්නේ තමා දරන ජාතික ලැයිස්තු ධුරයෙන් ඔහුට පාර්ලිමේන්තුවට ඒමට පාර හදා ගන්නට බවය. එබැවින් ඊට විරුද්ධව තමා උසාවි යන බව මන්ත්‍රීවරයා කියන්නේය මේ ඒ ගැන ඔහු ‘‘සති අග අරුණට’’ දුන් සම්මුඛ සාකච්ඡාවය. ඔබ දේශපාලනය ආරම්භ කළේ 1959 මාලිගාවත්තේ නාගරික මන්ත්‍රීවරයා ලෙසයි, මම දේශපාලනය පටන් ගත්තේ. දැන් කොච්චර කලක් දේශපාලනය කරලා තියෙනවද? අවුරුදු හැටක් දේශපාලනයේ යෙදිල ඉන්නවා. අලුත් පරපුරට තැන දීලා දේශපාලනයෙන් සමු ගත්තොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද? නැහැ. අපේ ජනතාව තවදුරටත් ඉල්ලනවා ඒ අය වෙනුවෙන් සේවය කරන්න කියලා. මම හිතන්නේ දෙවියන් වහන්සේගේ තීරණයත් ඒක වෙන්න ඇති. මොකද මම ​බෝම්බ 3කට අහුවෙලා ජීවිතය ​බේරුණ කෙනෙක්. සමුගන්න කැමැති නැහැ කියන්නේ දැන් සූදානම ශ්‍රීලනිපයත් එක්ක නඩු කියන්නද? ඔව්. නඩු කියන්න ලෑස්තියි. කොහොම වුණත් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. මොන පදනමින්ද එහෙම කියන්නේ? හිටපු ජනාධිපති කියනවා ශ්‍රී ලංකා එකට ලක්ෂ දහතුනක් තියෙනවලු. මහින්ද අමරවීරත් එහෙම කියනවා. ඒත් ඒ ලක්ෂ දහතුන ලැබුණේ පළාත් පාලන මැතිවරණයේදී. ඡන්ද ඉල්ලන්නේ ගමේ මිනිස්සු. ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෝ අටදාස් පන්සීයක් තරග කළා. ඒ අයගේ හිතවත්කම්වලට ලැබුණු ඡන්ද තමයි බොහෝමයක් ඔතන තියෙන්නේ. ඒ මිසක් ඔය ලැබුණු ඡන්ද ලක්ෂ 13 ශ්‍රීලනිපයේ කියා පිළිගන්න බැහැ. ඔබ කියන විදිහට ශ්‍රීලනිපය ඔය තරම්ම පිරිහිලා නම් ඇයි නඩු කිය කියා ඒකෙම එල්ලෙන්න හදන්නේ. අතහැරලා යන්නකෝ? දැන් ශ්‍රීලනිපය ඉවරයි. ශ්‍රීලනිපයක් නැහැ. ඒ වුණාට මාව බලහත්කාරයෙන් දොට්ට දාලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එන්නනේ දැන් හදන්නේ. ඒකට කොහෙත්ම ඉඩ දෙන්න බැහැ. ඒ නිසයි නඩු කියන්නේ. මට කතා කරලා ඉල්ලුවානම් මන්ත්‍රීකම දෙන්න කියලා මම දෙනවා. ඒත් බලෙන් දොට්ට දාන්න දෙන්න බැහැ. අපි මේ පක්ෂයට බොහෝම කැපවීමෙන් වැඩ කරපු අය. චන්ද්‍රිකා මැතිනියට ගෙයක් නැතුව හිටපු වෙලාවේ ඇයට මගේ නිල නිවස දීලා මම මගේ පුතාගේ ගෙදරට යන්න සූදානම් වුණා. අපි එහෙමයි නායකයන් වෙනුවෙන් කැපවුණේ. පක්ෂය වෙනුවෙන් කැපවුණේ. එහෙම පක්ෂයට කැපවුණු මට නිකම් හරි කිව්වනම් ෆවුසි ඔය මන්ත්‍රීකම මේ මාසතුනට මට දෙන්න කියලා මම දෙනවා. මෛත්‍රිපාල හිටපු ජනාධිපතිවරයා ඔබේ මන්ත්‍රී අසුනට එන්න අදහස් කරන බවක් ඔබට දැන්වූවේ නැද්ද? ඉල්ලුවා නම් දෙනවනේ. ඒ ගොල්ලෝ තිලංග සුමතිපාල පිටිපස්සෙන් ගියා මන්ත්‍රීකම ගන්න. ඊළඟට කුරුණෑගල ශාන්ත බණ්ඩාරගේ පස්සෙන් ගියා. ඒ එක්කෙනෙක්වත් ඉල්ලා අස්වෙන්න සූදානම් වුණේ නැහැ. එහෙම උත්සාහයක යෙදුණු බව කියන්නේ විශ්වාසයෙන්ද? ඔව්. ඔව්. ලසන්ත අලගියවන්න තමයි මේ කපුකම කරන්න ගියේ. ඔබ ඔහොම කිව්වට ශ්‍රීලනිපයේ ලේකම් දයාසිරි ජයසේකර කියනවා මෛත්‍රිපාල සිරිසේන මේ මාස කිහිපයේ පාර්ලිමේන්තුවට එන්න අදහසක් නැති බව? මොන පිස්සුද. ඔය කතා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. එහෙම අදහසක් නැත්නම් ජාතික ලැයිස්තුවේ ඉන්න එක එක්කෙනා පස්සෙන් ගියේ ඇයි අස්වෙන්න කිය කියා. කොහොම වුණත් මේ වෙන කොට ඔබ ශ්‍රීලනිපයෙන් දොට්ට දාපු කෙනෙක්? එහෙම කොහොමද, මම ගිය මාසෙත් පක්ෂයේ සාමාජික ගාස්තු රුපියල් තුන්දහස ගෙව්වා. මේ මාසෙත් ගෙව්වා. දැන් එතකොට කවද්ද නඩුව දාන්නේ? මට මාසයක් කල් තියෙනවා. ඔබ මෙන්ම තවත් පිරිසක් ඉන්නවා ශ්‍රීලනිපයේ චෝදනාවට ලක්වන විජිත් විජයමුණි වගේ කට්ටිය? ඔව්.ඔව්. තව කට්ටිය ඉන්නවා. ඒ වුණාට මාවනේ නිකම්ම දොට්ට දාලා තියෙන්නේ. ඒ අය වෙනුවෙන් කරුණු විභාග කෙරෙනවා? එහෙමනම් ඉතින් එකවර විභාග කරලා සියලු දෙනා දොට්ට දාන්න තිබුණනේ. නමුත් ඔබ පරීක්ෂණ මණ්ඩලය හමුවට ගියේ නැහැ. නැහැ. නැහැ. මැතිවරණ කාලේ මම වැඩ කළේ සජිත්ට. ඒ කාලේ එන්න කිව්වට යන්න විවේකයක් නැහැ. මැතිවරණ වැඩනේ. ශ්‍රීලනිපය ගෝඨාභයට සහාය දෙන්න පොදු තීන්දුවකට ඇවිත් තිබියදී ඇයි සජිත් දිනවන්න ගියේ? මෛත්‍රිපාල සිරිසේනත් කිව්වේ සජිත් හොඳ පිරිසිදු මනුස්සයා කියලා. මිනී නොමරපු, දූෂණ නැති අල්ලස් ගන්නේ නැති කෙනෙක් තෝරගන්න කිව්වා. ඉතින් ඒ නොකියා කීවේ සජිත්ට ඡන්ද දෙන්න කියලනේ. හිටපු ජනාධිපතිවරයා කිව්වේ ඔහු ස්වාධීනව ඉඳගෙන සාධාරණ මැතිවරණයකට ඉඩ විවර කරනවා කියායි? එයා කොහොමද ස්වාධීන වෙන්නේ .එයා ශ්‍රීලනිපයේ සභාපතිනේ. පක්ෂය තීන්දුවක් ගත්තම ඒකට එයත් යටත්. ඔය කියන්නේ එයා සජිත්ට යටින් වැඩ කරනවා. ඒනිසා උඩින් ස්වාධීනව ඉන්නවා කියන එකයි. ඒ කියන්නේ මෛත්‍රිපාල, යටින් සජිත් දිනවන්න වැඩ කළාද? මම එහෙම හිතනවා. මොකද එයා කරපු කතාවෙන් ඕනම මෝඩයකුට තේරෙනවා මොකක්ද කිව්වේ කියලා. සජිත් පිරිසිදු මිනිහ කියල නොකිය කිව්වෙ ඒකනේ. ඒත් 2015 ඔබ හිටියේ මෛත්‍රිපාල සිරිසේන සමග. නහැ..නැහැ..මම වැඩකළේ මහින්ද රාජපක්ෂට. එයා අපට බොහොම හිරිහැර කළා. ඒත් එයා පක්ෂයේ නායකයා විදියට අපි සහයෝගය දුන්නා. මගේ ආසනයට ෆයිසර් මුස්තාපා ගෙනත් දාලා මට කැපිල්ල දැම්මේ මහින්ද රාජපක්ෂ. පක්ෂයට මෙච්චර වැඩ කරපු මට දුන්නේ ජ්‍යෙෂ්ඨ ඇමැතිකමක්. එහෙම කළත් මම වැඩකළේ මහින්දට. එයා ගෙනත් දාපු ෆයිසර් ඡන්දෙට සුමානයක් තිබියදී අනිත් පැත්තට පැන්නා. මම මෛත්‍රිට සම්බන්ධ වුණේ එයා පක්ෂ නායකත්වය ගත් පසුවයි. ඇත්තටම කියනවානම් මෛත්‍රිට පක්ෂයේ අයිතියක් නැහැ. පක්ෂයට විරුද්ධව තරග කරපු එයා කොහොමද පක්ෂයේ සභාපතිවෙන්නේ. මහින්ද මහත්තයාගෙන් උදුරල තමයි එයා සභාපතිකම ගත්තේ. නමුත් ඒ දවස්වල ප්‍රකාශ වුණේ එවකට කථානායකව සිටි චමල් රාජපක්ෂගේ නිවසේදී ඇති වූ එකඟතාවකට අනුව මහින්ද රාජපක්ෂ පක්ෂයේ සභාපතිකම මෛත්‍රිට ගන්න ඉඩ සැලැස්සූ බවයි? ඔය කියන සාකච්ඡාව තනිකරම ඩීල් එකක්. ඒකට අපිට ආරාධනා කළේ නැහැ. මෛත්‍රිට කිසිම අයිතියක් තිබුණේ නැහැ පක්ෂයේ සභාපතිකම ඉල්ලන්න. ඒ වගේම මහින්ද රාජපක්ෂට යුතුකමකුත් නැහැ මෛත්‍රීට සභාපතිකම දෙන්න. පක්ෂයේ නායකයා මහින්දනේ. එයා මොකද ඒක මෛත්‍රිට දුන්නේ. ඇයි ඒ අවස්ථාවේ මේ ගැන කතා නොකළේ? මම මුලිනුත් කිව්වේ, අපිත් එක්ක ඒ ගැන කතා කළේ නැහැ. තුන් හතර දෙනෙක් හදිස්සියේ එකතු වෙලා කතා කරලා තීරණ ගත්තා. මෛත්‍රි පක්ෂයේ සභාපති වුණාට පස්සේ අපිට එයත් එක්ක වැඩ කරන්න වුණා. මහින්ද මගේ මැද කොළඹ ආසනයෙන් 1/2යි ෆයිසර්ට දුන්නේ. මෛත්‍ර්‍රි පත් වූ පසු ඉතිරි 1/2ත් ෆයිසර්ටම දුන්නා. මොකද මම එයාට වැඩකරපු නැති නිසා. ෆයිසර් එයාට වැඩ කළානේ. ඒ වුණාට මෛත්‍රි ආණ්ඩුවේ ඔබ ඇමැතිකම් දැරුවනේ? රාජ්‍ය ඇමැතිකමක් දුන්නා. ඒ කියන්නේ පල්ලෙහාට දැම්මා. එතකොට මහින්දයි මෛත්‍රියි දෙන්නම ඔබට සැලකුවේ එකම විදිහට? ඔව්. දෙන්නම කළේ එකම දේ. දැන් ඔබ හදන්නේ එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්නද? විකල්පයක් බලනවා. යූඑන්පීයට ගිහිල්ලා විරුද්ධ පක්ෂයේ හරි වාඩි වෙමු කියන අදහස තමයි තිබෙන්නේ. මන්ත්‍රීකමෙන් දොට්ට දැම්මොත් ඊළඟට ගන්න පියවර මොකක්ද? නඩු කියන එක තමයි. තව මාස දෙකයි තියෙන්නේ? ඔව්. ඒ මාස දෙකටත් මට දෙන්න කැමැති නැහැනේ. මාව බලහත්කාරයෙන් දොට්ට දාන්නනෙ හදන්නේ. ඒව නීතිවිරෝධී වැඩ. ළඟ එන මහ මැතිවරණයට මොකද කරන්නෙ? තරග කරන්න අදහසක් තියෙනවද? තරග කරනවා. තරග කරනවා. මොන පක්ෂයෙන්ද? එජාපයෙන් හරි ස්වාධීනව හරි එනවා. එජාපාය සූදානම් ඔබට අපේක්ෂකත්වය දෙන්න. අනිවාර්යයෙන්ම රනිල් හෝ සජිත් සමග මේ ගැන කතා කළාද? හිටපු අගමැති රනිල් සමග මේ ගැන කතා කළා. ඔහු කිව්වා මැද කොළඹට තරග කරන්න කියා. ඒත් රනිල් - සජිත් ලා අතර අර්බුද? දැන් දීලා ඉවරනේ. ඔබට නිකමට හිතෙන්නේ නැද්ද සජිත්ට උදව් කළ එක අපරාධයක්. ගෝඨාභයට උදව් කළා නම් ඇමැතිකමක්වත් ගන්න තිබුණ නේද කියා? අන්තිමට ඔබට අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැතිවුණා? ආපෝ නැහැ. දැන් ගෝඨාභයට උදව් කරපු අයටවත් ඇමැතිකම් නැහැනේ. කෝ ෆයිසර් මුස්තාපාටවත් ඇමැතිකමක් නැහැනේ. ඇමැතිකම් බලාගෙනම නෙමෙයි අපි වැඩ කරන්නේ. මිත්‍රකම් හිතවත්කම් අනුවත් වැඩ කරනවා. දැන් මහින්ද රාජපක්ෂ මොන තරම් කපා දැම්මත් අපි එයාට සලකනවා. එයත් එහෙමයි. අපේ පවුලේ අයට සලකනවා. ඕන එකක් කිව්වොත් කරනවා. සජිත් පරදින්න හේතුව මොකක්ද? කරුණු ගොඩක් තිබුණා. මේ මැතිවරණය දිව්වේ දේශපාලනය මත නෙවෙයි. ජාතිවාදය මතයි. රට කඩනවා. විකුණනවා. ඇමෙරිකාවට දෙනවා කියන මතය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය මගින් ජනගත කළා. ඒවා අහල මිනිස්සු කලබල වුණා. අනෙක් කාරණය සහරාන් කියන පිස්සා කරපු පිස්සු වැඩ. රට බෙදනවා. කඩනවා කියල කෑ ගහපු අයට සහරාන් නිසා ඔක්සිජන් ලැබුණා. ඕව තමයි පරාජයට​ බලපෑවේ. සමහර එජාපයේම අය කියනවා රන්ජන්, මංගල වගේ අය බුද්ධාගමට අගෞරව වන ලෙස කරපු ප්‍රකාශ නිසා එජාපයට බෞද්ධ ඡන්ද නොලැබුණ බව? ඒ මිනිස්සු නරක මිනිස්සු නෙවෙයි. මංගල පන්සල්වලට කොපමණ සල්ලි දීල, උදව් කරල තියෙනවද? සජිත්තුත් ඒ වගේම පන්සල්වලට උදව් කරපු කෙනෙක්. රන්ජන්ලා, මංගලලා, කරපු කතාවලිනුත් සමහර අය ප්‍රයෝජන ලබා ගන්න ඇති. ඒත් ප්‍රධාන වශයෙන් බලපෑවේ මම අර මුලින් කිව්ව වගේ ජාතිවාදය වැපිරීමයි. එළඹෙන මහමැතිවරණයෙන් පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රි විපක්ෂ නායක ලෙස පත් කර ගැනීමේ සූදානමක් ගැනත් කියනවා? විපක්ෂ නායක වෙන්න නම් ආණ්ඩුවේ මන්ත්‍රී, ආසන 50ක්වත් දිනාගන්න එපැයි. ශ්‍රී ලංකා එක තනියෙන් ඉල්ලුවොත් ගන්නේ ආසන 6යි. පොහොට්ටුවත් එක්ක එකතු වෙලා ඉල්ලුවොත් ලැබෙන්නේ ආසන 3යි. දේශපාලනයේ නැවත ඉපදීමක් ගැන හිටපු ජනපති ප්‍රකාශ කර තිබුණා. මොන පිස්සුද. මොන ඉපදිලා ඒමක්ද, තමන්ට බලය ශක්තිය තියෙන කාලය වැඩක් කරන් නැති කෙනා දැන් මොනව කරන්නද. එයත් දැන් සාමාන්‍ය පුද්ගලයෙක් විතරයි. තුෂාර උඩවත්ත
 

More News..