brand logo

සජිත් ඔබ විජේවීර බිරිඳගෙන් සමාව ගතයුතු දවස අදයි -පා.ම. ඩලස් අලහප්පෙරුම

13 November 2019

‘‘හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සංකල්පයකට අනුව සුදුවෑන් සංස්කෘතිය එළිබැස්ස දිනය රෝහණ විජේවීර ඝාතනය කළ අද වැනි දිනයක (නොවැම්බර් 13) බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවසුවේය. මන්ත්‍රිවරයා මෙසේ පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවසුවේය. ලෝක ඉතිහාසයේ පළමු වැනි වතාවට දේශපාලන පක්ෂ නායකයෙක් පණපිටින් පුලුස්සා ඝාතනය කළා. පාන් පුච්චනවා වගේ රෝහණ වීජ්වීරව පුච්චලා දැම්මේ. රෝහණ වි​ජේවීර තමයි ලෝකයේ පණ පිටින් පුලුස්සා දැමූ එකම දේශපාලන නායකයා. ඒ දිනය අදයි. සුදුවෑන් සංස්කෘතිය පටන් ගත් දිනය අදයි. සජිත් ප්‍රේමදාස දැන් හැසිරෙන්නේ කිසිම දෙයක් නොවුණු ගාණටයි. මෙම ඝාතනය පියාණන්ගේ පෞද්ගලික උපදෙස් මත වූ ඝාතනයක්එ. එය මුළු රටම දන්නවා. එසේ නම් කරුණාකරලා ඔබ නිවැරදිවීමට අවශ්‍ය නම් ඔබ අවංක නම් අද දිනය තමයි ඔබට තිබෙන හොඳම දිනය චිත්‍රාංගනී විජේවීර සහ දරුවන් මුණගැහිලා සිදුවූ බරපතළ අසාධාරණය ගැන සමාව ඉල්ලීමට. සජිත් ප්‍රේමදාස ඔබ අවංක නම් ඔබේ අවංකකම ලොවට පෙන්වන්න තිබෙන හොඳම දවස අද. අපි සජිත් ප්‍රේමදාසට ගෞරවයෙන් කියා සිටින්නේ, පරාජය ඉදිරිපිට අගෞරවය එකතු කරගන්න එපා කියලයි. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා නිවැරදි නම් කළ යුත්තේ සැප්තැම්බර් 27 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ඉදිරිපත් කළ කොමිෂන් සභා වාර්තාව ඉල්ලාගෙන ප්‍රසිද්ධ කිරීමයි. එම වාර්තාවේ තිබෙනවා මිලියන 641 වංචාවේ තක්සේරුව බව. මේ අවසන් පැය 48දීවත් අඩුම ගාණේ මෙය ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිනවා. හේමන්ත ලියනපතිරණ- කොළඹ
 

More News..