brand logo

සජිත්ට පක්ෂ නායකකම දෙන්නැයි යෝජනාවක් - එජාප ප්‍රතිසංවිධාන කමිටුව හමුවට

12 December 2019

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එම තනතුරද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බවට යෝජනාවක් පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා පත්කළ කමිටුවට සජිත් පාර්ශ්වය ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ සය පුද්ගල කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (11 වැනිදා) පෙරවරුවේ රැස්වූහ. කමිටු සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන, තලතා අතුකෝරාළ, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ එක්ව සිටියහ. මෙහිදී සජිත් පාර්ශ්වය නියෝජනය කළ මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර සහ තලතා අතුකෝරාළ ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පක්ෂ නායකත්වයද ලබාදිය යුතු බවයි. ඊට එරෙහිව අනෙක් මන්ත්‍රීවරුන් තිදෙනා කරුණු දක්වා ඇත. විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාසද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කරු ජයසූරිය පත්කර, පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ප්‍රබල විපක්ෂයක් ලෙස ක්‍රියා කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ. පුළුල් සන්ධානයක් යටතේ පොදු ලකුණකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 113ක් ලබාගත හැකි බව ඔවුන්ගේ අදහස වී ඇත. එහෙත් සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් තිදෙනා ඊට විරෝධය පළකර තිබේ. මේ නිසා සාකච්ඡා අසාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වෙයි. උදයජීව ඒකනායක
 

More News..