brand logo

සජිත්ගේ හංසයාට මැ.කො. බැහැ කියයි

20 February 2020

සන්ධානගතව හංසයා ලකුණින් තරග කිරීමට ඇති හැකියාව පිළිබඳ නීතිමය ප්‍රශ්නයක් මතුවීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය හමු වී ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (19 වැනිදා) තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කාත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි. සමගි ජාතික බලවේගය සඳහා හංසයා ලකුණ ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අනුමැතිය ලබා නොදීම මෙතෙක් ගැටලුවක් වී ඇති බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කර ඇත. තවද ‘‘හංසයා’’ ලකුණ ලබා දීමට තීරණය කළහොත් මැතිවරණ කොමිෂන් සභාවට පක්ෂය විසින් එම ලකුණ ලබාදිය යුතුය. කොමිෂන් සභාවේ තීරණය මත සමගි ජාතික බලවේගය සඳහා හංසයා ලකුණ ලබාදීමට කොමිෂන් සභාව සූදානම් දැයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විමසා ඇත. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. සමගි ජාතික බලවේගය සඳහා සන්ධානගත වීමට එක්වන පක්ෂය ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මෙහිදී ඉල්ලා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුයුද්දීන්, පලනි දිගම්බරන්ගේ පක්ෂවලින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත් කාත්‍යාධිකාරී මණඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ ඉදිරි මහ මැතිවරණයට විපක්ෂ නායකවරයාගේ නායකත්වයෙන් සන්ධානගතව තරග කරන බවයි. මේ අතර සමගි ජාතික බලවේගය ව්‍යවස්ථා​ කෙටුම්පත අධ්‍යයනය කිරීම සඳහා නීතිඥ මණ්ඩලයකට යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ස්ථාපිත කිරීමට නියමිත සමගි ජාතික බලවේගයේ ව්‍යවස්ථා කෙටුම්පත කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඊයේ (19 වැනිදා) ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යවස්ථා කෙටුම්පත සජිත් පාර්ශ්වය විසින් සකස් කර තිබේ. එම ව්‍යවස්ථා කෙටුම්පත ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබිණි. නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ආරම්භ කළ අවස්ථාවේදී එය ඉදිරිපත් කරන ලදී. එම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බවත් නීතිඥ මණ්ඩලයකට යොමු කළ යුතු බවත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් නීතිඥ මණ්ඩලයේ අධ්‍යයනයෙන් පසු තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දින දහයක සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමටද නියමිතව ඇත.   උදයජීව ඒකනායක
 

More News..