brand logo

සජිත්ගේ විරෝධය නිසා රනිල් උපක්‍රම වෙනස් කරයි

27 July 2019

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන එකතුව පිහිටු වීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තේරීම එම පෙරමුණේ විධායක සභාව මගින් සිදුකිරීමට තීරණය වී ඇත. එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් එල්ල වූ යම් යම් විරෝධතා මත එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මෙම තීරණයට එළැඹ ඇතැයිද වාර්තා වෙයි. අගෝස්තු මස 5 වන දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ සඳහා දේශපාලන පක්ෂ දහයක් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ඒකාබද්ධ වීමට නියමිතව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නම්කිරීමට යෝජනා වී තිබේ. මෙම සන්ධානයේ මහලේකම් ධුරයට අමාත්‍ය රාජිත සේනාරත්න සහ රවී කරුණානායක යන අයගේ නම් යෝජනා කර ඇත. ජාතික සංවිධායක ධුරයට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, චම්පික රණවක, සරත් ෆොන්සේකා යන අයගේ නම් යෝජනා වී තිබේ. සභාපති, උප සභාපති, උප ලේකම් ධුර සඳහා එක්සත් ජාතික පක්‍ෂයට බාහිර අනෙකුත් දේශපාලන පක්‍ෂ නායකයන්ට පිරිනැමීමට යයි. මෙම සන්ධානය නායකත්ව මණ්ඩලයකින් පාලනය වන අතර සියලු සම්බන්ධීකරණ කටයුතු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රවි කරුණානායක යන මහත්වරුන්ට පවරා ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් විමසා ඇත්තේ නව සන්ධානය බිහිකිරීම සඳහා පක්‍ෂ අනුමැතිය ලබා නොගැනීම පිළිබඳවයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා අනුමැතිය ලබාගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. තවද මෙම සන්ධානයේ මහ ලේකම් ධුරය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවිය යුතු බව ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් ඇමැතිවරු පෙන්වා දී ඇත. තවද මෙවර ජනාධිපතිවරණයට එම සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා, විධායක සභාව විසින් තෝරා ගැනීමට තීරණය කිරීමත් සමග සන්ධානය ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය කඩාකප්පල් කිරීමට තවත් පාර්ශ්වයක් උත්සාහ කරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. සන්ධානය ප්‍රකාශයට පත්කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි තුනක පමණ මුදලක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. තවද මෙම සන්ධානය මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කර නොමැත. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම අවසන් කරන තුරු නව පක්‍ෂ ලියාපදිංචිය අත්හිටුවීම ඊට හේතුවයි. තවද මෙම සන්ධානය සඳහා සලකුණක්ද මෙතෙක් තෝරා ගෙන නොමැත. උදය ඒකනායක
 

More News..