brand logo

සජිත්ගේ වැඩ ගැන හොයන්න කමිටුවක්

13 January 2020

හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වෙත දේශපාලනික අරමුණු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග ලෙස දුන් බවට සහ මධ්‍යම සංස්කෘතික අරමුදල කළමනාකරණයේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමර්ශනයට විශේෂ කමිටුවක් පත්කර ඇත. බුද්ධශාසන විෂය භාර ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මෙම කමිටුව පත්කර ඇත. 2016-2019 වකවානුවේ සිදුව ඇතැයි චෝදනා එල්ලවන අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම කමිටුව පත්කර තිබේ. හිටපු මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ ගෝඨාභය ජයරත්න සහ හරිගුප්ත රෝහණධීර යන අයයි. මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ලැබුණු ආකාරය සහ උපදවන ලද ආදායම් නියමිත පරිදි කළමනාකරණය නොකිරීම සහ අරමුදලට සිදුකර ඇති පාඩු විමර්ශනයට පත්කර ඇති කමිටුව මගින් දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ පරිත්‍යාග පිළිබඳවද විමර්ශන කෙරෙනු ඇත. කමිටු වාර්තාව විෂය භාර ඇමැතිවරයා වෙත සති හයක කාලයක් ඇතුළත භාරදීමට නියමිතය. මේ අතර හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස විසින් පසුගිය ජනාධිපතිවරණය ආසන්න සමයේ ආගමික ස්ථාන වෙත ලබාදුන් මූල්‍ය පරිත්‍යාග පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලෙස පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද අරමුදල සූදානම් වේ. හිටපු ඇමැතිවරයා විසින් පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ඉතිරි මුදල් ලබාදෙන සහතිකය මත ආගමික ස්ථාන වෙත රුපියල් ලක්ෂ 10 සිට මූල්‍ය පරිත්‍යාග සිදුකර ඇතැයි වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි. නයන තරංග ගමගේ
 

More News..