brand logo

සජිත්ගේ මැතිවරණ මෙහෙයුම මලික්ට

30 September 2019

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස ඇමැති මලික් සමරවික්‍රම පත් කර ඇති බව වාර්තා වෙයි. ඇමැති රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ පෙරේදා (28දා) රාත්‍රි පැවැති සාකච්ඡාවකදී මෙම පත්කිරීම සිදුකර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් විසිනි. ඇමැති සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹ වොක්ෂොල් වීදියේ ස්ථාපිත කර ඇති අතර එහි පරිපාලන කටයුතු සහ සම්බන්ධීකරණය එ.ජා.ප. හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට පවරා තිබේ. මාධ්‍ය මෙහෙයුම් කටයුතු හිටපු ජනමාධ්‍ය ඇමැතිවරයකු වන ඉම්තියාස් බාකිර් මාකර්ට පවරා දී ඇත්තේ ඇමැති සජිත් ප්‍රේමදාස විසිනි. මෙම සාකච්ඡාවට අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජිත් මද්දුමබණ්ඩාර, චම්පික රණවක, පී. දිගම්බරන්, රිෂාඩ් බදියුදීන් යන ඇමැතිවරු එක්ව සිටියහ. මෙහිදී එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. මෙම රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කරන බව සිරිකොත ආරංචි මාර්ග පවසයි.
 

More News..