brand logo

සජිත්ගේ පුවත්පත් දැන්වීම් වියදම මිලියන 60යි - ගෝඨාගේ මිලියන 25යි

28 October 2019

මෙවර ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රචාරණ කටයුතු විෂයෙහි වැඩිපුර බර තබා ඇත්තේ රූපවාහිනී දැන්වීම් වෙත ය. ඒ අනුව පසුගිය සතිය අවසන් වන විට බලපෑම් සහගත රූපවාහිනී දැන්වීම් ගණනාවක් ප්‍රචාරය කරමින් සිටි අතර ඒවා නිසා මුදල් ඇමති මංගල සමරවීරගේ හිත නම්, ‘රිදී’ ඇති බව පෙනේ. එසේ නොවන්නට ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී එම දැන්වීම් සකස් කළ ආයතනවලට ‘හෙණ වැදිය යුතු බවක්’ පවසන්නේ නැත. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අදාළව සිදුවන ‘පුවත්පත් දැන්වීම් කෙරුවාව’ දෙස බලන විට, ගෝඨාභයගේ පුවත්පත් දැන්වීම් වියදම මෙන් දෙගුණයකටත් වඩා වැඩි වියදමක් සජිත්ගේ දැන්වීම් වෙනුවෙන් වියදම් වන බව පෙනේ. ‘ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම්’ සම්බන්ධයෙන් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් දියත් කර තිබෙන ‘නිරීක්ෂණ වැඩසටහන’ දක්වන පරිදි ඔක්තෝබර් 5 වැනිදා සිට 23 වැනිදා දක්වා සජිත්ගේ පුවත්පත් දැන්වීම් වියදම දළ වශයෙන් රුපියල් මිලියන 60 ක් පමණ වේ. එමෙන් ම එම කාලාන්තරය තුළ ගෝඨාභයගේ පුවත්පත් දැන්වීම් වියදම දළ වශයෙන් රුපියල් මිලියන 25 ක් පමණ වේ. මේ ආකාරයේ ප්‍රචාරණ වැඩසටහන් අතර ගෝඨාභය සහ සජිත් යන ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් දෙදෙනා ම මේ වන විටත් රැස්වීම් අමතමින් ‘රට වටේ’ ගමන් කරමින් සිටින අතර පසුගිය සතියේ ගෝඨාභය සිය රැස්වීම් ආරම්භ කළේ, තමන් උපන් ගම් පළාතෙනි.
 

More News..