brand logo

සජිත්ගේ පක්ෂය ගැන එජාප කෘත්‍යාධිකාරීයේදී හෙට සාකච්ඡාවක්

13 February 2020

එජාප පක්ෂ සාමාජිකයන් කිහිපදෙනකු වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව හෙට (14 වැනිදා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන බව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය. විපක්ෂ නායකවරයාගේ ප්‍රමුඛත්වයෙන් ඉදිරිපත් කළ සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග අදාළ එජාප සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවන්නේද නැද්ද යන්න පිළිබඳව ‘අරුණ’ කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් මහලේකම්වරයා මේ බව පැවසීය. ‘‘සියලු පාර්ශ්ව එකතු කරගෙන ඉදිරි පුළුල් සන්ධානයක් ගොඩනගන්න තමයි අපි කටයුතු කරන්නේ. දැන් මෙතන ගැටලුවක් පැනනැගී තියෙනව තමයි. අපි මීළඟ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ඒ ගැන සාකච්ඡා කරනවා’’ යැයි මහලේකම්වරයා පැවසීය. අපේ ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂය පදනම් කර ගනිමින් සමග ජාතික බලවේගය නමැති සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා තිබුණු අතර පෙරේදා (11 වැනිදා) දිනය වන විට ඊට අනුමැතිය හිමිවූ බව කොමිසම තහවුරු කර තිබිණි. මෙම සන්ධානයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ලේකම් ලෙස මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නම්කර ඇත. ලාංඡනය වී ඇත්තේ ‘හදවත’යි.   නයන තරංග ගමගේ
 

More News..