brand logo

සජිත්ගේ ඊළඟ ගමේ නම සදා පරාජිත රනිල් වික්‍රමසිංහ ගම්මානය ද?

19 August 2019

සජිත් විසින් ගම්වලට දමන නම් ගැන නිරන්තරයෙන් ම කතාවට ගැනුණු අතර පසුගිය සතියේ දැමුණු, සිරිතුරුලියගම, සොබානිල්ලගම, සාරහරිතගම යන ගම් තුනේ නම් තුන එකදිගට කියාගෙන ගිය අයෙක්, ඊ ළඟ ගමේ නම ‘සරිගමපදනිස’ විය යුතු බව යෝජනා කළේ ය. එමෙන් ම පසුගිය සතියේ විවෘත්ත වූ තවත් ගම්මාන පහක නම් එක දිගට කියාගෙන ගියේ මෙසේ ය. ‘‘කවුරු දාන නම්ද මන්දා... ජීවහත්ත ගම, දිසාලා ගම, නීරෝ ගම, රන්මිතු ගම, සොරිවිල කොටරාල ගම...’’ ‘‘ඇයි දෙයියනේ... සදාලෝකපූජිත අරවින්ද ද සිල්වාගම... සදාලෝකපූජිත කුමාර සංගක්කාරගම... යන නම් දෙක ද සිහිපත් කළේ ය. ‘‘ඔය ගම්වල මිනිස්සු ඔය නම් දෙක නං මේ විදියට කෙටි කරලා කිය යි... සලෝපූ අරවින්ද ගම... සලෝපූ සංගක්කාරගම...’’ ඊට හිනා වූ අය අතර සිටි රොෂාන් රණසිංහ අපූරු යෝජනාවක් කළේ ය. ‘‘සජිත්ට තියෙන්නෙ ‘සදා පරාජිත සදා අනාථ රනිල් වික්‍රමසිංහ ගම’ කියල ගමක් හදෝලා, රනිල්ට ම කියලා විවෘත්ත කරවන්න...’’ විපක්ෂයේ අය කරන මෙවැනි විහිළුවලින් හෝ තම පක්ෂයේ අය කරන කැපිලි කෙටිලි වලින් නොවැටෙන සජිත් ප්‍රේමදාසට සිය පක්ෂය නිල වශයෙන් අපේක්ෂකත්වය ලබා දීම තව දුරටත් කල් දමන බැවින් හරීන් ප්‍රමුඛ එ.ජා.ප. කණ්ඩායම හිතුවක්කාරේ ම ‘බදුල්ලේ රැලිය’ සංවිධානය කර තිබුණේ ද පසුගිය සතියේ දී ය. අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම රැලිය ද රට පුරා ජනතාවට ‘සජීවී’ව නැරඹීමට හැකි වුණි. එමෙන් ම මෙහෙදී සජිත් ප්‍රේමදාසට ද ලැබෙමින් තිබුණු ‘මහජන ප්‍රසාදය’ ද සුළුපටු නොවී ය. එහිදී සජිත් වේදිකාවට ආවේ ද මහජනයාගේ කර මතිනි. එමෙන් ම එහිදී සජිත් ට පැලඳවුණු මල්මාල ද කිලෝ ගණනක් විය. එමෙන් ම එහිදී සජිත් කළ කතාව ද අතිශයින් ම ‘උද්වේගී’ වූ අතර එහිදී ඔහු මෙසේ ද කීවේ ය. ‘‘මම මේ රටේ ජනතාව වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්...’’ මෙම උත්සවය අතරතුර වරින් වර ‘ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වීඩියෝ දසුන්’ ද පෙන්වීමට සලස්වා තිබූ අතර ඊට සහභාගී වී සිටි ප්‍රේක්ෂකයින්, ‘ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා’ තිරයේ දිස්වන විට ඊට වඳිනු ද දැකගත හැකි විය. මෙම රැස්වීමේ පොදිකමින් සිටි ජනතාව සජිත් ව සමීපව දැකගැනීම වෙනුවෙන් විල්ස්පාක් පිටියේ සවි කර තිබුණු වීඩියෝ තිරය සහිත ‘අටල්ල’ මත ද නඟින්නට පටන්ගත් අතර සංවිධායකයන්ට ඔවුන් ඉවත් කරන්නට ද සිදුවිය. කෙසේවෙතත්, මෙම උද්‍යෝගිමත් රැලිය අවසානයේ දී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සජිත් ව නම් කිරීමේ සටනට ‘යෝධ බලයක්’ ලැබුණු අතර, සජිත් නම් නොකළොත් පක්ෂයෙන් ඉවත් වන බව කියන පිරිස ද ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. කෙසේවෙතත් මෙම පිරිස මේ වෙනුවෙන් නායකත්වයට බල කරන ‘පෙත්සමකට’ අස්සන් එකතු කරන්නට ද පටන්ගත් අතර, සතිය අවසන් වන විට එ.ජා.ප. සභාපති කබීර් හෂීම්ට භාර දුන් එම ‘පෙත්සමේ’ අත්සන් 50කටත් වඩා වැඩියෙන් තිබුණි. කෙසේවෙතත්, ‘සජිත්ව ජනාධිපති අපේක්ෂකත්වයට’ නම් කරන්නැයි මෙම ‘පෙත්සමෙන්’ කෙළින් ම ඉල්ලා නොතිබුණු අතර ඉන් පැවසුණේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම ‘කෘත්‍යාධිකාරියෙන්’ පමණක් නොකරන ලෙස ය. එමෙන් ම ‘අපේක්ෂකයා නම් කිරීමට’ එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම ද සම්බන්ධ කරගන්නා ලෙස ය. ඒ අනුව මෙය ‘වක්‍රාකාරයෙන්’ සජිත් ව නම් කරන්නට කෙරුණු ඉල්ලීමක් ම වූ අතර සජිත් අපේක්ෂකත්වය සමඟ පක්ෂ නායකත්වය ද බලාපොරොත්තු වන බැවින්, පක්ෂ නායක රනිල්ට ඒ සම්බන්ධයෙන් ‘තීන්දුවක් ගැනීම’ අපහසු වී ඇති බව පෙනේ. කෙසේවෙතත් මෙම ‘පෙත්සම’ යම් මට්ටමකට ‘රතු නිවේදනයක්’ ලෙසද සැලකුව මනා වන්නේ, ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා නම් කිරීම ‘දින හතක් තුළ සිදුවිය යුතු බව’ ක් එහි සටහන් වන බැවිනි. කෙසේවෙතත්, ‘සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීමට යෝජනා වීම’ අරබයා මේ වන විට එ.ජා.ප. අභ්‍යන්තරයේ තිබෙන ‘පැල්ම’ වඩාත් තියුණු වෙමින් තිබෙන අතර මෙය ‘කඩාගෙන යාමක්’ දක්වා උත්සන්න වීම වළක්වාගැනීම භාර වී ඇත්තේ ‘කරු ජයසූරියට’ ය. ඔහු මේ වන විටත් ‘සජිත් ඉල්ලා සිටින අය’ සමඟ මෙන් ම ‘සජිත් එපා කියන අය’ සමඟ ද සාකච්ඡා කරමින් සිටින අතර සජිත් පසුගිය සතියේ දිනෙක ඉතාම රහසිගත ආකාරයෙන් ජනාධිපතිවරයා හමු වූ බවට ද කටකතා පැතිර යමින් තිබිණි.
 

More News..