brand logo

සජිතට කළු කුමාරයා වැහෙයි

06 October 2020

සජිත කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. මේ දවස්වල කියන්නේ ඉතින් අපේ රටේ ඇතිවෙච්ච අවාසනාවන්ත කාල වකවානුවත් එක්ක සියලුම දේවල් අතරමග හිර වුණානේ. මම රඟපාපු චිත්‍රපට හතරක් තියෙනවා ඉදිරියේදී තිරගත වෙන්න. බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම ඉවර වෙලා ආයෙමත් ඉස්සර වගේ මිනිස්සුන්ට සිනමා ශාලාවකට එකතු වෙන්න අවස්ථාව ලැබෙයි කියලා. ප්‍රසන්න විතානගේගේ ගාඩි, අප්පච්චිගේ එක ගෙයි සොකරි, හසිත හේරත්ගේ ආදරය සමානයි, චන්න දේශප්‍රියගේ දූශ්‍රා කියන චිත්‍රපට හතරම තිරගත වීමට නියමිතයි. හා හා පුරා කියලා අධ්‍යක්ෂණයට තිබ්බ අඩිය ගැනත් කියමු... ඔව්. ඇත්තටම රංගනය, නර්තනය, ගායනය කියන ක්ෂේත්‍ර තුළ තමයි මම පුංචි කාලේ ඉඳන්ම රැඳිලා ඉගෙන ගනිමින් හිටියේ. නමුත් මම ආදරේ කරන තවත් ක්ෂේත්‍රයක් තමයි අධ්‍යක්ෂණය කියන එක. අධ්‍යක්ෂණය කියන පැත්ත ලේසි නෑ. සංකල්පය, තිර රචනය, නළු නිළියන් කියන සියලුම බර දේවල් කළමනාකරණය කරගන්න ඕන. ඒ නිසා තමයි මම අර කියපු සියලුම දේවල් අධ්‍යයනය කරලා ඉවර වෙලා අන්තිමටම අධ්‍යක්ෂණය පැත්ත ගැන ඉගෙන ගත්තේ. මේ වෙනකල් මම අධ්‍යක්ෂණයට ඕන කරන දැනුම එකතු කරමින් තමයි හිටියේ. දැන් ඒ දැනුම එළියට දාන්න කාලය ඇවිත්. මොකද්ද මේ එකපාරට වැහුණු කළුකුමාර දිෂ්ටිය? මගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන ගීත වීඩියෝව 'කළුවර' තමයි ඒ ප්‍රථම අත්දැකීම. ඒක මගේම පිටපතක්. ප්‍රවීණ කණ්ඩායමක් එක්කයි මේක අධ්‍යක්ෂණය කළේ. Saj creations කියලා ආයතනයක් මම පිහිටෙව්වා. මගේම නිර්මාණ විතරක් නෙවෙයි ඒකේ අපේ රටේ ඉන්න ගායක ගායිකාවන්ගේ, සිනමාකරුවන්ගේ නිර්මාණවලට මම සංකල්පය නිර්මාණය කරලා අධ්‍යක්ෂණය කරලා දෙන්න ඉදිරිපත් වෙන ආයතනයක්. ඒ ආයතනයත් මම ප්‍රේක්ෂකයා අතරට මුදාහරින්නෙත් මේ කළුවර එක්කමයි. මොකද මේ ගීතය තමයි මගේ Saj creations ආයතනයේ ප්‍රථම නිර්මාණය. ඔබ මීට කලිනුත් විවිධ ගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මොකද්ද මෙහි ඇති විශේෂත්වය? මීට කලින් සීත සන්තෝසය, මිහිරාව ආවා, ආදරේ වගේ ගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඒවා ඉතින් අපි අපිම කැමරා අරන් රූගත කරපුවනේ. නමුත් ප්‍රථම වරට මගේ Saj creations කණ්ඩායමේ ඉන්න ප්‍රවීණයන් පිරිස එක්ක අධ්‍යක්ෂණය කරපු පළමු නිර්මාණය තමයි මේක. මගේ ස්වර්ණපාලියේ ගීතය වුණත් අධ්‍යක්ෂණය කළේ මම නෙවෙයි අප්පච්චි. චන්දන ජයසිංහ, සරත් සේනාරත්න වගේ ප්‍රවීණයෝ එක්ක මම වගේ තරුණයෙක් එකතු වෙලා කරන පළමු වැඩේ ‘කළුවර.’ සජිත අධ්‍යක්ෂණය පැත්තෙන් එකපාරටම මේ වගේ දෙයක් කරන්න හිතුණේ ඇයි? මම මීට කලින් කරපු සියලුම ගීත නිර්මාණ කළේ මගේ බිරිඳ එක්ක අපි ගිය සංචාරයන් එකතු කරලා. නමුත් ඒ සියලුම දේවල් අත්හදාබැලීම්. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරද්දි කෙටි චිත්‍රපට නම් කරලා තියෙනවා. ඒ බොහෝ දේවල් මට ප්‍රදර්ශනය කරන්නවත් ලැබුණේ නෑ. ඒ සියලුම දේවල් මම කොටස් කරන්නේ අත්හදාබැලීම් විදිහට. ‘කළුවර’ එක්ක මම මගේම ආයතනයක් තුළින් කලඑළි බැහැපු එක ගොඩක් ලොකු සතුටක්. බුවිනි එක්ක ගත කරන ජීවිතේ කොහොමද? ඇය එක්ක මම බොහොම සතුටින් කාලය ගත කරනවා. විවාහය කියන්නේ අපි කලින් ගත කරපු ජීවිතයට වඩා බෙහෙවින්ම වගකීම් වැඩි ජීවිතයක්. නමුත් බුවිනි මට මගේ නිර්මාණ කටයුතුවලට වගේම අනෙක් සියලුම දේවල්වලට පුළුවන් උපරිමයෙන් සහයෝගය ලබා දෙනවා. ඇයගේ ඒ සහයෝගය මට විශාල ශක්තියක්. ඇය මගේ ජීවිතයට එන්න කලින් වගේම අදටත් වෙනසක් නෑ මගේ පවුලේ අය මට උදව් කළා. අද ඒක වැඩිවෙලා. මොකද අයියගේ බිරිඳ එමී අක්කා, අක්කාගේ සැමියා මිලාන් අයියා පවා මට පුදුම විදිහට සහයෝගය දක්වන චරිත. ඉතින් ඇත්තටම ඒ අය නිසා මට මගේ නිර්මාණ කටයුතු කරගන්න හරිම පහසුයි. අයියාගේ පුංචි අරණ්‍යා දකිනකොට සජිතටත් හිතෙන්නේ නැද්ද බබෙක් හිටියා නම් හොඳයි කියලා? ඇත්තටම ඒ අවධියත් විවාහ වුණාට පස්සේ අපේ ජීවිතේ දිගහැරෙන තවත් එක සුවිශේෂී පරිච්ඡේදයක්. අපි හැමෝම ආරණ්‍යා බබා ඉපදුණු දවසේ ඉඳන් ඇයගේ හුරතල් එක්කම කාර්යබහුල වෙලා ඉන්නේ. මගෙයි බුවීගෙයි ජීවිතෙත් කවදහරි ඒ වගේ කාලයක් උදාවෙයි. කාලය සුදුසු වෙලාවට ඒ දේවල් ලබලා දෙයි. කෞශල්‍යා පතිරණ
 

More News..