brand logo

සචින් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඉන්දීය කණ්ඩායමට දායාද කළ විශිෂ්ඨ පුහුණුකරුවා මෙලොව හැර යයි

03 January 2019

ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ විශිෂ්ඨ පුහුණුකරු වන රාමාකාන්ට් අචිරීකර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ මුම්බායි හිදි ඔහු මියගිය බවයි. 1932 උපත ලැබූ රාමාකාන්ට් අචිරීකර් මියයන විට වයස අවුරුදු 86යේ පසුවුණා. මුම්බායේ ශිවාජි පාර්ක් හිදී අචිරීකාර් ඇකඩමියේ හරහා රාමාකාන්ට් අචිරීකර් විසින් දක්ෂ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට දායාද කළා. සචින් ටෙන්ඩුල්කාර්, චන්ද්‍රකාන්ත් පන්ඩිත්, විනෝද් කම්බ්ලි, අජිත් අගාකාර්, ප්‍රවීන් අම්රි සහ රමේෂ් පාවර් යන ජනප්‍රිය ක්‍රීඩකයින් ඉන් විශේෂයි. වයස අවුරුදු 11 දී සචින් ටෙන්ඩුල්කාර්ගේ දක්ෂතාවය හොදින්ම හදුනාගත් අචිරීකර් බන්ඩාර් හි නිව් ඉන්ග්ලිෂ් පාසලේ සිට ශ්‍රද්ධ්‍රා ශරම් විද්‍යා මන්දිර් පාසලට මාරු කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. ඊට හේතුව සචින් ටෙන්ඩුල්කාර් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත් කර ගැනීමේ අරමුණින්. රාමාකාන්ට් අචිරීකර් නමැති විශිෂ්ඨ පුහුණුකරුවාගේ එම බලාපොරොත්තුව වැඩි කාලයක් නොයා සැබෑ කිරීමට සචින් ‌ටෙන්ඩුල්කාර් ද සමත් වුණා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට දායාද කිරීම හේතුවෙන් අද ඉන්දීය කණ්ඩායම කළුපටි අතේ පැළද ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග සිඩ්නි පිටියේ තරග වදිනවා.  
 

More News..