brand logo

සචින්තනී දන්නේ නැතුව ඇයගේ විවාහය වුණේ කොහොමද?

30 August 2022

"මම තවම ඉන්නේ ඔයා මාව එක්කන් යන්න එනවයි කියපු තැන. අවුරුදු තුන හතරක් තිස්සේ මාව ගන්න ආපු තැන. මම තාම ඉන්නේ තමුසේ නැති තැන" . ආදරය වෙනුවෙන් තවමත් බලාපොරොත්තු පොඳි බඳින,ඒ වෙනුවෙන් දහසක් හීන මවන, හිත් රිදීම් බිඳීම් මැද මතකයන් සමගත් හිනාවෙන අඬන, කවදාක හරි තමන්ගේ ආදරය තමන්ව හොයාගෙන එයි කියලා මග බලන ආදරණීය පෙම්වතිය තම පෙම්වතාගෙන් ලැබුණ දුරකථන ඇමතුමකට දුන්න පිළිතුරක් තමයි මුලින්ම සටහන් කළේ. කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයත් සමග ආදරය බෙදාගන්න ප්‍රේක්ෂකයන්ට නම් මේ වචන හුරු පුරුදු වනවාට කිසිම සැකයක් නැහැ. ඉතින් ඒ ආදරණීය ටෙලිනාට්‍යයේ දිගැසිගේ චරිතයට පණ පොවන සචින්තනී කෞෂල්‍යාට අපි මෙවර පිනිපලස පිළිසඳරට ආරාධනා කළා. නීති විද්‍යාලයේ අවසන් වසර විභාග කටයුතු නිසා සචින්තනී මේ දිනවල තරමක් කාර්යබහුල වෙලා හිටියත් ඇය අපේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ නැහැ. තව ටික කාලයකින් නීතිඥවරියක් විදියට දිවුරුම් දෙන, පුංචි තිරයේ ආදරණීය පෙම්වතිය, සචින්තනී කාටත් රහසේම විවාහ වෙලා කියලා පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල කතාබහක් ඇති වුණා.

" මමවත් දන්නේ නැතිව මගේ විවාහය වුණේ කොහොමද කියලා මමත් තවම කල්පනා කරනවා ". කාටත් රහසේම වුණා කියන විවාහය ගැන සචින්තනීගෙන් අපි ඇහුව ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ හිනාවෙන ගමන්.

May be a closeup of 1 person
ටෙලිනාට්‍යය රංගනයට එක් වීමට පෙර සිටම සචින්තනී නිරූපිකාවක් හැටියට කටයුතු කරලා තියෙනවා. අධ්‍යාපන සහ රංගන කටයුතු නිසා නිරූපණයෙන් තරමක් ඈත් වෙලා හිටියත් පහුගිය දවස්වල ඇය නැවතත් නිරූපණයටත් කාලයක් වෙන් කරලා තිබුණා. සුන්දර උඩරට මනමාලියක් ලෙසින් සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවලට එක්වීමත් සමග තමයි සචින්තනී කාටත් රහසේ විවාහ වෙලා කියන කතාව පැතිරෙන්න පටන් ගත්තේ.

"ඇත්තටම මම තවම විවාහ වෙන්න තීරණයක් අරගෙන නෑ. එක දිගට bridal shoot කිහිපයකට සහභාගි වුණා. ඒ ෆොටෝ දැකලා බොහෝ දෙනෙක් මම විවාහ වෙලා කියලා කියන්න පටන් ගත්තා. විවාහය ගැන මම තවමත් හිතලා නැහැ. මගේ අධ්‍යාපන කටයුතුත් අවසන් වුණාම, මගේ ඉලක්කවලට ළඟාවෙලා ඊට පස්සේ විවාහය ගැන හෙමීට තීරණයක් ගන්නවා. මට තවම කරකාර බඳින්න හොඳ කාලයක් උදා වෙලා නෑ. තවම මට පෙම්වතකුත් නැහැ". පුංචි තිරයේ පෙම්වතිය සැබෑ ජීවිතයේදී තවමත් පෙම්වතියක් නෙමෙයි කියලා තමයි සචින්තනී නම් කියන්නේ.

May be an image of 2 people, people standing and indoor
සචින්තනීට තවමත් පෙම්වතෙක් නැහැ කියලා කියද්දී,දිගැසි වගේම සචින්තනී ඉන්නෙත් ආදරේ ගැන කලකිරීමකින්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දිගැසීගේ ඇතැම් චරිත ලක්ෂණ සචින්තනී තුළ තිබුණත් ආදරය ගැන නම් කලකිරීමක් නැහැ කියලා ඇය අපිට කිව්වා.

" ආදරය කියන මාතෘකාව ටිකක් සංකීර්ණයි. ඇත්තටම මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම ගොඩක් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ආදරයක් දෙන කෙනෙක් මට තවම හමුවෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මම ආදරයට කිට්ටු වෙන්න ටිකක් බයයි."

May be an image of 1 person
කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට පෙර දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ මුතුලෙන්දොර ටෙලිනාට්‍ය සඳහාත් සචින්තනී රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය කලාවට අලුත් මුහුණුවරක් වුණත් ප්‍රාසාංගික කලාව නම් ඇයට නුහුරු අත්දැකීමක් නෙමෙයි. 2015 සිට සහන් රන්වලයන් යටතේ රන්වල බළකායට සම්බන්ධ වෙලා ඇය කලා කටයුතුවල නිරත වුණා. රූපවාහිනී නාළිකා කිහිපයක අවුරුදු කුමරිය ලෙසිනුත් ඇය තරග කළා. ඒ කාලය ඇතුළත අවස්ථා කිහිපයකදී රංගනයට ආරාධනා ලැබුණත්, ඉගෙනීම් කටයුතු නිසා ඒ ආරාධනා පිළිගන්න ඇයට හැකියාවක් ලැබිලා නැහැ. කොහොම වුණත් සචින්තනීගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කළ, කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයාට දිගැසිව මුණගැහුණු විදියත් සචින්තනී මතක් සිහිපත් කළා.

"දිගැසි කියන චරිතය මාවම හිතේ තියාගෙන නිර්මාණය කළ චරිතයක් නෙමෙයි. තිර පරීක්ෂණ සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා තිබුණා. ධනුෂ්ක අයියව මම මුල ඉඳලම දැන හඳුනාගෙන හිටියත් කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසි චරිතය මට ලැබීම නම් අහම්බයක්. දාම් ටෙලිනාට්‍ය රූගත කරන අතරතුර වූ සිදුවීමක් නිසා එහි චරිතයකට තමයි මුලින්ම මම ධනුෂ්ක රත්නායක අයියව මුණගැහුණේ. ඒ වෙද්දි මම තවත් ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලටත් සහභාගි වෙලා හිටියේ. එදා ධනුෂ්ක අයියව හම්බවෙලා ස්ක්‍රීන් ටෙස්ට් එකකට සහභාගි වුණා. ඒ දිගැසි විදිහට නම් නෙමෙයි. කොහොම වුණත් දාම් ටෙලි නාට්‍ය අවසන් වෙනවත් එක්කම වගේ, දිගැසිගේ චරිතය කරන්න පුළුවන්ද කියලා අයියා මගෙන් ඇහුවා. මම ඒ ආරාධනාව භාරගත්තා. ඒ විදිහට තමයි දිගැසි කියන චරිතය නිර්මාණය වුණේ"

May be an image of 1 person, standing and outdoors
මේ දවස්වල කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයට අමතරව බන්ධනා තුළිනුත් සචින්තනීව ප්‍රේක්ෂකයන්ට මුණගැහෙනවා. සචින්තනී මේ වෙද්දි රඟපාලා තියෙන්නේ සීමිත නිර්මාණ ගණනක විතරයි. නමුත් ඇයට ලැබෙන ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නැහැ. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා කියලත් අධ්‍යාපන කටයුතු සිදු කරන අතරම ඒ ආරාධනා පිළිබඳවත් සලකා බලනවා කියලත් සචින්තනී මතක් කළා.

"දිගැසිගේ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ වෙද්දි නිර්මාණ රාශියක රඟපාලා නැහැ.කෙටි කාලයක් ඇතුළත ටෙලිනාට්‍ය ගණනාවක රඟපාලා ඉක්මනින් ජනප්‍රිය වෙලා, ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම අමතක වෙන චරිතයක් වෙනවාට වඩා,එක නිර්මාණයකින් හරි ප්‍රේක්ෂකයන්ට මතකයේ රැඳෙන දෙයක් ඉතිරි කරන්න ලැබෙනවා නම් එතැන තමයි රංගනයේ සාර්ථකත්වය තියෙන්නේ කියලා මට මගේ ගුරුවරයෙක් කියලා තියෙනවා. ඒ නිසා දිගැසිට ලැබෙන ප්‍රතිචාර ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම ධනුෂ්ක අයියාවත් මමවත් හිතුවේ නෑ දිගැසිට මේ තරම් ආදරයක් ලැබෙයි කියලා. රංගනය ගැනත් ඉගෙන ගනිමින් හෙමීට මගේ ගමන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ".

May be an image of 1 person and indoor
සචින්තනීගේ වචනවලින්ම කියනවා නම් කියාදෙන්න ආදරේ තරම් කියන්නේ ඇගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. කිසිම භේදයක් නැතුව ලොකු කුඩා කවුරුත් දිගැසිට ආදරය කරනවා. ඉතාලියේ පදිංචි වයස අවුරුදු තුනක දැරියක් තමයි දිගැසිගේ ළාබාලතම ප්‍රේක්ෂිකාව.

"ලොකු කුඩා භේදයක් නැතිව කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයට සහ දිගැසිගේ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඉතාලියේ පදිංචි අවුරුදු 74ක සීයා කෙනෙක් මට කතා කළා. ඔහුත් දිගැසිගේ චරිතයට කැමැතියි කියලා මට කිව්වා. මේ විදියට ලංකාවේ වගේම පිටරට ඉන්න අයත් මගේ රංගනයන් අගය කිරීම මට විශාල සතුටක්. ලොකු කුඩා භේදයක් නැතිව සියලු දෙනාගේම ආදරය දිනා ගන්න ලැබීම මම භාග්‍යයක් විදිහට සලකනවා ."

No photo description available.
නීතීඥවරියක් වුණාට පස්සේ සචින්තනීට රංගනයට සමු දෙන්න සිද්ධ වෙයිද? ඇයට ආදරය කරන බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්නය තියෙනවා කියලා අපි දන්නවා. කලාවට සමු දීම සම්බන්ධයෙන් තවමත් කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා තමයි සචින්තනී නම් කියන්නේ. අපිට දැනගන්න ලැබුණු විදිහට ඉගෙන ගන්න කාලය අතරතුරත් සචින්තනී වැඩිපුරම කාලය යොදවලා තියෙන්නේ බාහිර ක්‍රියාකාරකම්වලට. ඒ නිසා නර්තනයට, කලාවට ,රංගනයට ඇයගේ හිතේ තියෙන කැමැත්ත රැකියාව නිසා නතර වෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ .

"රංගන ශිල්පිනියක් වෙනවා කියන හීනය පොඩි කාලෙදිවත් මගේ හිතේ තිබුණේ නැහැ. නර්තන අංශයට නම් මගේ කැමැත්තක් තිබුණා. මම එක කාලයක් ආමි එකට යන්න ආසාවෙන් හිටියා. තවත් කාලෙකදී මගේ හීනය වුණේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන එක. ඊට පස්සේ නොහිතපු විදිහට නීතිඥවරියක් වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අහම්බෙන් රංගනයට ආවත් රංගනයට සමු දෙනවා කියලා නම් දැනට මම හිතලා නැහැ. දැන් මම රංගනයේ යෙදෙන්නේ හරිම ආසාවෙන්. දැනට මගේ වෘත්තිය වෙලා තියෙන්නෙත් රංගනය."

May be an image of 1 person, standing and footwear
ඉදිරියේදී මානසික රෝගියෙක්ගේ හරි ග්‍රාමීයව දුෂ්කරතා විඳින තරුණියකගේ චරිතයක් කරන්න ලැබෙනවා නම් ඒ ආරාධනාව කැමැත්තෙන්ම භාරගන්නවා කියලත් සචින්තනී අපිට කිව්වා. අද මුළුමහත් රටක ආදරය දිනාගත්ත මේ හැඩකාර කටකාරියගෙන් ඇය මේ තරම් දුරක් ආව ගමන ගැනත් වචනයක් ඇහුවේ නැත්නම් ඒක අඩුවක් කියලා මට හිතුණා. මෙතෙක් දුර ආ ගමන ගැන නම් සචින්තනී වචන ගැළපුවේ බොහොම හැඟීම්බරව.

"ඇත්තටම මම අද තැනක ඉන්නවනම් ඒ තැනට එන්න මමත් මගේ පවුලේ අයත් සෑහෙන කැපකිරීම් කරලා තියෙනවා. ඉගෙන ගන්න කාලේ වුණත් අපි ගත කළේ බොහොම දුෂ්කර ජීවිතයක්. මගේ ගමන් මාවතේ ගල්මුල් බොරලු ඕනෑවටත් වැඩියෙන් තිබුණා. මල් ඇතිරූ මාවතක නෙමෙයි මම ඇවිදගෙන ආවේ. ඒ නිසා මම අද ඉන්න තැන ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. මට තවත් ගොඩක් දුර යන්න තියෙනවා. ඒ තැනට එන්න උදව් කළ පවුලේ අයට,කලාවේ මුල මැද අග ඉගැන්වූ සියලු දෙනාට, සචින්තනීව රංගන ශිල්පිනියක් කළ සියලු දෙනාට සහ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."

නිරෝෂා වාසල
 

More News..