brand logo

සකලගුරු පුෂ්පාගේ ප්‍රේමය කරළියට

03 August 2020

ජාතික රූපවාහිනිය හරහා ප්‍රේක්ෂක සිත් වසඟ කළ නිර්මාණයක් තමයි ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන සකල ගුරු කියන්නේ. කොරෝනා නිසා අතරමග නැවතුණ සකල ගුරු යළිත් විකාශය වෙන්න පටන් අරන්. අද අපි අපේ කතාබහට සම්බන්ධ කර ගත්තේ සකල ගුරුහි පුෂ්පා... නම - දිල්හානි වීරසිංහ උපන් ගම - අනුරාධපුර පවුලේ විස්තර - අම්මා තාත්තා. නංගිලා දෙන්නෙක් ඉන්නවා. පාසල - අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය. පාසලේ දී කලාවට සම්බන්ධ ද? පාසලේදී නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වගේම මම කළේ නර්තනය. ඒ නිසා හැම වැඩසටහනකටම වගේ මම සම්බන්ධ වුණා. කලාවේ ආරම්භය? 2014 ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයට මම සහභාගි වෙනවා. එතැනදී මම අවසන් පස්දෙනා අතරට එනවා. ඊට පස්සේ තමා මට නිරූපණ කටයුතුවල‍ට සහ වෙළෙඳ දැන්වීම්වලට අවස්ථාව ලැබෙන්නේ. ඔය අතරේ රඟපාන්න ආරාධනා ලැබුණා. ප්‍රධාන චරිතයක් කළ පළමු නිර්මාණය මොකක්ද? 2015 දී ජාතික රූපවාහිනියේ විකාශය වූ ලබැඳියේ නාට්‍යයට. ඔය අතරේ තව රඟපාන්න ආරාධනා ලැබුණා. නමුත් ඒ වෙද්දී මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් කළ නිසා ලොකුවට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඊට පස්සේ මුතු පලස, කළු අරලිය, අහස් මාලිගා, හුස්මක් තරමට, පේර මඩුව වගේ නිර්මාණවලට දායක වුණා. මෑතක ප්‍රධාන චරිතයක් කරන්නේ මේ දිනවල විකාශය වන ටිකිරි රත්නායක මහතාගේ සකල ගුරු නාට්‍යයේ පුෂ්පා චරිතය. කොහොමද මේ පුෂ්පා චරිත දකින්නේ? කතාවට අනුව මම පුෂ්පා නැන්දා. ගමක ජීවත් වන ගැමි චරිතයක්. ගාමන්ට් එකක සුපරීක්ෂකවරියක් විදියට වැඩ කරන කෙනෙක්. මමත් ගමේ කෙනෙක් නිසා මට පහසු වුණා මේ චරිතය හොඳින් කරන්න. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මග තොටදී වුණත් ආනේ මේ සකලගුරු එකේ පුෂ්පා නේද කියලා කතා කරනවා. සෙල්ෆි ගන්නවා. ඉතින් සතුටුයි. නිළියක් වෙන්නද ආස කළේ? නර්තන ගුරුවරියක් වෙන්න තමා මම කැමැති. ඒ හීනය තාම තියෙනවා. නමුත් කලාවට ආවට පස්සේ මේ ක්ෂේත්‍රයටත් කැමැති වුණා. ඒ නිසා ඉදිරියේදී නර්තන ගුරුවරියක් වෙන බලාපොරොත්තුව තියෙනවා. ඒ එක්කම පුළුවන් විදියට කලාවට සම්බන්ධ වෙනවා. ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද? මුලින්ම නම් එච්චර කැමැත්තක් පෙන්නුවේ නැහැ. මම අධ්‍යාපන කටයුතු අතරමග නතර කරයි කියලා. තවම මම ඉගෙන ගන්නවා. දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන්න සූදානමින් ඉන්නේ. ඒ නිසා දැන් නම් ලොකුවට විරෝධයක් නැහැ. සිනමාවටත් සම්බන්ධ වුණානේ. ඒ ආරම්භය කොහොමද? රජා මමයි චිත්‍රපටයෙන් තමා මුලින්ම සිනමාවට එන්නේ. 2015 දී, සාරි ගප්පි, රූකඩ පැංචි වගේ සිනමා නිර්මාණවලටත් දායක වෙන්න පුළුවන් වුණා. ඒවා ඉදිරියේදී බලන්න පුළුවන්. හොයාගෙන ඉන්න සහකරුත් කලාවට සම්බන්ධ කෙනෙක්? ඔව්. දිනේෂ් දිසානායක. එයාව මුණගැහෙන්නේත් කලා නිර්මාණයක් නිසා තමයි. මොකද එයා නිෂ්පාදනය පැත්තට සම්බන්ධ කෙනෙක්. අද මම මෙතන ඉන්නේ එයා නිසා. මොකද මම අනුරාධපුරේ නිසා කොළඹ දී මගේ ගැන හොයලා බලලා මගේ ගමනට ලොකු සහයෝගයක් දෙන්නේ එයා. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මොකද අපිට තනිව ගමනක් යන්න බෑ. කවුරු හරි ඉන්න ඕනේ. ඉතින් අපි දැන හඳුනාගෙන ගෙවල්වලට කියලා ඒ ආශිර්වාදයත් අරගෙන ඉන්නේ. කවදද විවාහ වෙන්න ඉන්නේ? ලබන අවුරුද්දේ වගේ තමා හිතන් ඉන්නේ. විවාහයෙන් පස්සේ කලාවෙන් ඈත් වෙයිද? නැහැ. මොකද දිනේෂ් කියන්නේ මාව හොඳින්ම තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා මට කවදාවත් එයා තහංචි දාන්නේ නැහැ. කොහොමද චරිත තෝරා ගන්නේ? මම හදාගෙන තියෙන ප්‍රතිරූපයට ගැළපෙන විදියේ චරිත මම භාර ගන්නේ. මොකද මම ගුරුවරියක් වෙන්න ඕනේ. ඒ තුළ දරුවන් එක්ක සමාජය එක්ක මම ගනුදෙනු කරන්න ඕනේ. ඒ නිසා ඒ ගැන හිතලා තමා චරිත භාර ගන්නේ. මට ඉක්මනින් ජනප්‍රිය වීමේ අදහසක් නැහැ. ඒ නිසා මම බොහොම හිමින් යන ගමනක් මේ. වේදිකාවට සම්බන්ධ වෙලා නැද්ද? නැහැ. මේ වෙනකම් නම් වේදිකාවට සම්බන්ධ වෙලා නැහැ. ආරාධනාවක් ආවොත් භාර ගන්නවද? අනිවාර්යයෙන්ම. මම කැමැති වේදිකාවට. අඩු පාඩු හදාගෙන හොඳ ගමනක් යන්න පුළුවන් වේදිකාවේත් අත්දැකීම් තියෙනවා නම්. ඒ නිසා වේදිකා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. අනුෂා රණසිංහ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..