brand logo

සංහිඳියාවේ වේදනාව

01 June 2019

මේ රටේ ජාතීන් අතර ඉතිහාසයේ නොතිබූ ආකාරයේ සහෝදරත්වයක් ඇති කර ලෝකයටම ආදර්ශයක් දෙන්නට වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව බලයට ආ විගස ක්‍රියාවට නැංවූයේය. ජාතීන් අතර සුහදතාව ගොඩනගා නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලංකාවෙන් බිහිකර නොබෙල් සම්මානයට ඉල්ලුම් කිරීමට අයැදුම්පතක්ද සූදානමේ තබා ගෙන සිටියේය. 2015 වන තෙක් ආණ්ඩුව කළේ ගෝත්‍රික මනසකින් යුතු අයය කියූ ආණ්ඩුව ශ්‍රී ලාංකික ජාතියේ ගෝත්‍රික මනස වෙනස් කරන්නට අමාත්‍යාංශ තුනක්ම පිහිටු වූයේය. ඒ අමාත්‍යාංශ තුනම ඒකාබද්ධ කර සිංහල බස පටන් ගත් ක්‍රි. පූර්ව තුන්වන සියවසේ සිට මේ දක්වා භාවිතයට නොගත් කිසිම් ශබ්ද කෝෂයක නැති සංහිඳියාව නම් වචනයක්ද රටට ජාතියට, හඳුන්වා දුන්නේය. ආණ්ඩුව රටට හඳුන්වා දුන් සංහිඳියාව නම් වචනය යකුන්, යක්ෂයන්, මළ පෙරේතයන්, පෙරේතියන් සභාවට කැඳවා දොළ පිදේනි කන්නට දී සතුටු කරන බලි තොවිල්වල එන සංහිඳ නම් වචනයෙන් නිෂ්පන්න කර ගත්තක් බව පෙනෙන්නේ මේ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් කන්දරාවට සිද්ධ වී ඇති දේ දෙස බැල්ම හෙළීමෙනි. සංහිඳියා අමාත්‍යාංශය පටන් ගත් දා සිට මේ දක්වා ගෙවුණු වසර හතරක කාලය තුළ වෙන්කර අැති මුදල බිලියන 15 ක් හෙවත් දශලක්ෂ 1500 ක් තරම් වූ කැල්කියුලේටරයක සඳහන් කළ නොහැකි ඉලක්කම් අටත් ඉක්මවන දැවැන්ත වූවකි. මේ මහා මුදල් කන්දරාව වියදම් කර, කළ සංහිඳියා වැඩසටහනෙන් ජනතා සහෝදරත්වයට සිතුවිල්ලකින්වත් සේවයක් සිද්ධ වී තිබේද? සංහිඳියාව නම් වැඩසටහන ක්‍රියාවට නංවා දැන් වසර හතරකි. දැන් සිංහල බෞද්ධයෝද, සිංහල කිතුනුවෝද, වෙළෙඳසලකට යන්නට පෙර දොරටුවේ තිබෙන දැන්වීම් පුවරුව දෙස බලති. එය අයිති මොහොමඩ් කෙනෙකුට නම් පිළිකුලෙන් ඉන් ඈත් වෙති. ’’අපේ කඩේට නෝනා කෙනෙක් ඇවිත් බඩු මල්ලක් පුරෝලා ගත්තා. ඊළඟට මගේ නම අැහුවා. මම ඉන්සාබ් කිව්වා. නෝනා බඩු මල්ල එතනම දාලා යන්න ගියා.’’ මුස්ලිම් වෙළෙන්දකුගේ වේදනාව පසුගිය ‘අරුණ’ පත්‍රයේ එසේ පළ විය. මේ මුස්ලිම් ව්‍යාපාරවලට සිද්ධ වී ඇති දේය. දැන් ප්‍රකට සිංහල නිෂ්පාදක ව්‍යාපාර ආයතන තමන් මුස්ලිමුන් නොවන බව හැඟවෙන දැන්වීම්වලින් පත්තරද, රූපවාහිනී ගුවන් කාලද පුරවති. හඳුන්කූරට, සුවඳ විලවුනට සේම සුරුට්ටුවටද, බීඩියටද දැන් ජාතිය බලපාමින් තිබෙන බවය පෙනෙන්නේ. එමතු නොව මුස්ලිම් ව්‍යාපාරික ආයතනවල සේවය කළ සිංහලයන්ද, දැන් දැන් අවමානයට පාත්‍ර වෙමින් සිටිති. මෙතෙක් කාලයක් සාධක නැති තැන් තැන්වල බොරු ජාතිවාදය අවුස්සන කටකතා ලෙස කවුරුත් පිළිකුල් කරන කාරණා සත්‍යයේ මායිමට ඇවිත් ඇත්තේය. කෑමවලට වඳ බෙහෙත් කලවං කිරීමේ සිට ඇඳුම්වලට වඳ බෙහෙත් දැමීමේ සිට කතා විශ්වාස කරන මායිමට ලාංකික ජාතියක් පැමිණ ඇත්තේය. සෙම්ප්‍රතිශ්‍යාවකටත් බෙහෙතක් ගන්නට මුස්ලිම් වෛද්‍යවරයෙක් ළඟට යා යුතු නැතැයි අදහසක් සිංහලුන් තුළද, දෙමළුන් තුළද තහවුරු වී ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරුන් උතුම් වෛද්‍ය ආචාරධර්මවල පිහිටන බවට දෙන හිපොක්‍රටිස් දිවුරුමට වඩා නොපෙනන දෙවියකුට වූ පොරොන්දුවට බැඳී සිටිතැයි සිතන නිසාය. එහෙත් මේ ව්‍යාජ සංහිඳියා වැඩපිළිවෙළට ආණ්ඩුව ගොඩනගන්නට කලින් මේ රටේ මහා සංඝරත්නය තම අටපිරිකර සපයා ගන්නේද, ඒවා පන්සලේ ගොඩගැසෙන විට යමක් උපයා ගන්නේද, මුස්ලිම් වෙළෙන්දන් සමග රහසිගත මිත්‍ර සන්ධානයකින් බව කවුරුත් දනිති. බෞද්ධ කොඩියේ සිට සියලු දේ ගෙන්වූයේ ද අලෙවිකරුද මුස්ලිම් ව්‍යාපාරිකයන්ය. ලාංකිකයෝ ගෝත්‍රික නම් එසේ කරන්නේ නැත. භාණ්ඩ නිෂ්පාදනයටත්, බෙදා හැරීමටත්, පරිභෝජනයටත් ජාතීන් අනුව කළ නොහැක්කක් බව සිංහලයෝද, හින්දූහුද දැන සිටියහ. එහෙත් ආණ්ඩුවද සංහිඳියා වැඩපිළිවෙළට චිත්‍රපටයෙන්, ගීතයෙන් සම්බන්ධ වූ බඩ වියතුන්ද සිංහලයන් ගෝත්‍රිකයන් ලෙස හංවඩු ගැසූහ. ආණ්ඩුව, ආණ්ඩුව කරන්නන් ද සිතන්නේ මහ ජාතිය මෙල්ල කිරීමෙන් උන්ගේ ජාතික, ආගමික හැඟීම් සහමුලින් ඉවත් කිරීමෙන් අනෙක් ජාතීන් අතර සුහදත්වය වර්ධනය කළ හැකි බවය. මගේ අම්මා මාව මෙරට වැදුවට වඩා හොඳයි බෙල්ල මිරිකලා කානුවකට විසි කළා නම් කියූ අයද, මද්දුම බණ්ඩාර කියන්නේ පොඩි පරයෙක් කියූ උන්ද, බුද්ධාගම ප්‍රමුඛ ආගම නොවේ, මේ රට අනාගාමික රාජ්‍යයක් යැයි කියූ උන්ගේ ද චින්තනය ආණ්ඩුව වැලඳ ගත්තේය. එම චින්තනයෙන් බෞද්ධ, කිතුනු, හින්දු, මුස්ලිම් ආගම්වලින් පෝෂණය වූ රටක සහෝදරත්වය ගොඩනැගිය නොහැක්කේය. දැන් එම චින්තනයෙන් යුත්තෝ කරන්නට හදන්නේ කුමක්ද? මිථ්‍යාදෘෂ්ටිකයා මරා වධ බන්ධනයන්ට ලක් කළ යුතු යැයි ඉගැන්වෙන අධ්‍යයන ආයතන ආගමික මධ්‍යස්ථාන ඒ අයුරින්ම තබාගෙන ඒවා හෙළිදරව් කිරීම හෝ ඒවාට එරෙහි වීම ජාතිවාදය යැයි කියා හංවඩු ගැසීමය. දැන් ඔවුන්ට කරන්නට ඉතිරිව තිබෙන එකම දේද කරති. එය නම් ජාතිය එකට සිටිමු යැයි දැන්වීමක් හදා ප්‍රචාරය කිරීමය.
 

More News..