brand logo

සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ

26 February 2019

පෙම්වතුන්ගේ දිනයේ එකම මොහොතක නො එන ගමන් ගිය සයිමන් සහ ගුණවතීගේ කතාව සංසාරේ එකට හමුවී එකට මියෙන්නට ප්‍රාර්ථනා කරන්නෝ සිටින්නේ බොළඳ ප්‍රේම කතාවල විතරක් නොවේ. වචනයෙන් නොකිව්වත් එවන් ප්‍රාර්ථනා සංසාරේ පුරාවට ගෙන එන්නෝ ඕනෑතරම් සිටිති. වියපත් වනතුරුත් ජීවිත කාලයම සෙනෙහෙන් බැඳී සිටි දෙදෙනෙකුගෙන් සැමියා හෝ බිරිඳ මියගිය කල්හී ඉතිරි වන කෙනාත් ඒ දිනයේම හෝ සත් දවසක් යන්නට මත්තෙන් නොඑන ගමන් ගිය සිදුවීම් පසුගිය කාලයේ ඉඳහිට අසන්නට ලැබුණි. පෙබරවාරි 14 වැනිදා පෙම්වතුන්ගේ දිනයේදී එකම මොහොතකදී එවන් ගමනක් යන්නට ඌරගස්මංහන්දියේ හල්ගහවේල්ලේ සයිමන් සහ ගුණවතී යුවළත් සංසාරේ කවදා කොතැනකදී හෝ ප්‍රාර්ථනා පුරන්නට ඇත. කරන්දෙණිය කිරිපේද්දේ, හයේ කණුවේ සිටි පී.ඩී. සයිමන්ට දිනෙක අහම්බෙන් දුටු ඌරගස්මංහන්දිය හල්ගහවේල්ල හැඩකාර ගුණවතී සහකාරිය කරගන්නට සිතුණේ දුටුමතින්මය. ඒ නිසාම ඔහු ගුණවතීට සිය මිතුරෙකු මාර්ගයෙන් විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඊට ලැබුණු සුබ ප්‍රතිචාරයත් සමග තවත් හිතවතුන් හා පවුලේ වැඩිහිටියන් කීපදෙනෙක් සමග සයිමන් බර කරත්තයකින් ගුණවතී බලන්නට ඇගේ ගමට ගියේය. එදා ඔහු හමුවටවිත් ගුණවතී පෑ සිනහව සංසාරේ කවදාක හෝ තමා සන්තකයේ තිබූ බවක් සයිමන්ට දැනුණේය. ඒ සිනහව දිගේ ගුණවතී හා යුගදිවිය ඇරඹූ සයිමන් සතුටින් පිරුණ ජීවිතයක් ගත කළේය. එවක් පටන් සයිමන්ගේ ළඟින්ම සිටි ගුණවතී ඔහු යන්නේ, එන්නේ කොහේද, ඔහු පසුපසින් සෙවණැල්ලක් සේ සිටියාය පස ඇදුනාය. යෞවන වියේ හමුවී ඒ සෙනෙහෙන්ම බැඳී සයිමන්ට අවුරුදු අනූ එකක් වත්දිත් ගුණවතීට අවුරුදු හැත්තෑ හතරක් වත්දීත් දෙන්නට දෙන්නා ඇස්මායිමෙන් ඈත්වූයේ නැත. මෑතක් වනතුරුම දෙන්නා අත් අල්ලාගෙන සිකුරාදා පොළට යන දසුන ප්‍රදේශවාසීන්ට නම් අමුත්තක් නොවීය. එසේම සෑම පසළොස්වක පෝ දිනකම හල්ගහවේල්ල අභය ශ්‍රී වර්ධනාරාමයට ගොස් ඔවුන් දෙදෙනා සිල් සමාදන්වීමද පුරුද්දක් වී තිබුණේය. සයිමන් ගුණවතී යුවළට දරුවන් පස් දෙනෙකි. එයින් එක්කෙනෙක් පුතෙකි. අනෙක් සිව්දෙනාම දියණියෝය. සතියකට වතාවක් හෝ මේ දරුවන් අම්මා තාත්තා බලන්නට ඒම පුරුද්දක් කරගෙන සිටියහ. ඒ නිසාම සයිමන් හා ගුණවතීද දරුවන් ගෙදර එනතුරු බලා සිටීම පුරුද්දක් කොටගෙන සිටියහ. කිසියම් හේතුවක් නිසා දරුවන් දින හත අටකින් දෙමාපියන් බලන්නට නොපැමිණියේ නම් සයිමන් හා ගුණවතී ඔවුන්ගේ නිවෙස්වලට යන්නෝය. ඒ බැව් දන්නා මේ දරුවන් හැකි සෑම විටම දෙමාපියන් බලන්නට එන්නේ ඔවුන් වෙහෙස කරවන්නට අකැමැත්තෙනි. දරුවන් සිටියත් ඔවුන්ගෙන් බැරි අවස්ථාවන්හිදි උදව් ගැනීමේ පහසුව තිබුණත් සයිමන් හෝ ගුණවතී කිසිදාක මේ දරුවන්ට වදයක් කරදරයක් වෙන්නට කැමති වූයේ නැත. "තාත්තා දැනට වසරකට ආසන්න කාලයක් වනතුරු අපිටවත් ඒ දෙන්නගෙ වැඩ කරන්න දුන්නෙ නැහැ. තාත්තම අම්මට කෑම හදල දෙනවා. අපෙ අම්මටයි, තාත්තටයි මුනුබුරන්ම දොළහක් ඉන්නවා. අපි විවේකයෙන් ඉන්න වෙලාවට තාත්තා ඉස්සර කතා කියනවා. ඒ කතා තාමත් අපි ආසාවෙන් අහගෙන ඉන්නවා වගේම අපේ දරුවොත් ඒ කතා අහගෙන ඉන්නෙ ආසාවෙන්. ." සයිමන් ගුණවතී ‍යුවළගේ දියණියක් මව හා පියා ගැන මතක පොත පෙරළුවාය. දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන් තුළ ද සයිමන්ටත් ගුණවතීටත් හොඳ බැඳීමක් තිබුණි. " දැනට වසර කිහිපයකට පෙර ගුණවතී ආච්චි අම්මා දියවැඩියා රෝගය හේතුවෙන් එක් තැන්වුණා. ආච්චි අම්මගෙ සියලුම වැඩ කළේ සීයා. ආච්චි අම්මට උදව් කරගෙන හිටපු සීයත් දවසක් නාන කාමරේ ලිස්සලා වැටුණා. ඒකෙන් සීයගෙත් තුනටියේ ආබාධයක් ආවා. එතෙක් දෙන්නගෙම වැඩ කෙරුණෙ සීයා අතින්." ඒ නිසා එතැන් පටන් සයිමන් ගුණවතී යුවළගේ දරුවන්ටත්, මුනුබුරන්ටත් ඔවුන් ගැන සොයන්නට බලන්නට සිදුවුණේය. ඒ අනුව දරුවන්ගේ රැක බලාගැනීම් මැද ජීවත්වූ ගුණවතී පසුගිය පෙබරවාරි 14 වැනිදා හිටි හැටියේ ද අසනීප වුණාය. ඒ නිසා දරුවන් හා මුනුබුරන් එක්ව ඇයව ඇල්පිටිය රෝහලට ගෙන යන්නට සූදානම් වූහ. " අනේ එයාට පාඩුවේ ගෙදර ඉන්න දීපල්ලා ළමයිනේ.." අසනීප තත්ත්වයකින් සිටියද ගුණවතී ඔහුගේ ඇස්මානයෙන් ගෙන ගොස් රෝහල් ගතකරනවාට සයිමන් කැමැති වූයේ නැත. ඒත් දරුවන් ඒ මොහොතේ සයිමන්ගේ කතා ඇසුවේ නැත. ඔවුන්ට ඕනෑ වූයේ කෙසේ හෝ අම්මා සුවපත් කරගන්නටයි. " මමත් එනවා.. මමත් එනවා.." ඔහුගේ වචනය නාහා ගුණවතී රැගෙන යද්දී ඇවිදගන්නට බැරිවුණත් සයිමන් ඔවුන් හා යන්නට සැරසුණේය. ඒත් ඉරණම කාටත් වෙනස් කරන්නට බැරි චක්‍රයකි. ඇල්පිටිය රෝහලට ඇතුළත් කළ ගුණවතී පැය කිහිපයකට පසු අවසන් ගමන් ගියාය. ඒ මධ්‍යම රාත්‍රී 12.30 ට පමණය. ඒත් ඒ බවක් එම තොරතුර ලද දරු මුනුබුරන් සයිමන්ට කියන්නට ඉක්මන් වූයේ නැත. ඒත් ගුණවතී මියගොස් මඳ වේලාවකින් ඒ මැදියම් රැයේ නිවසේ සිටි සයිමන්ගේ දියණියකගෙන් ගුණවතී ළඟ සිටි අයෙකුට දුරකතන ඇමතුමක් ලැබුණේය. එයින් කියවුණේ අදහාගත නොහැකි පුවතකි. "තාත්තා නැතිවුණා. මේ දැන්, 12.30 ට විතර. " දරුවන්ට විතරක් නොව ඒ ප්‍රදේශයේ අයටද මේ සිද්ධිය අදහාගන්නට බැරිවුණේය. එකම දිනයේ හෝ කෙනෙක් මියගොස් දින කීපයක් ඇතුළත මේ ලොවින් යන්නට ගිය දෙන්නා දෙමහල්ලන් ගැන ඔවුනුත් අසා තිබුණි. ඒත් සයිමන් හා ගුණවතී මේ ලොවින් යන්නට ගොස් තිබුණේ එකම දිනයේ එකම වෙලාවටය. සයිමන් ගුණවතී ආදර කතාව නිමා වුණේය. එකම නිවසේ එකම උඩුවියන් පාවාඩ මැද ඔවුන් සදාකාලික නින්දේ සැතපී සිටියහ. බොහෝ දෙනාගේ සෝසුසුම් මැද්දේ ඔවුහු අවසන් නින්දට වැටුණේත් පවුලේ සුසාන භූමියේ එකම සුසානයකය. ආදරය ගැන විවිධාකාරවූ කතාන්දර තිබේ. ආදරේ නාමයෙන් දිවි පිදූවන්, දංගෙඩියට ගියවුන් මෙන්ම රජකමත් හැරියෝද අපේ ඉතිහාසයේ ඕනෑතරම් හමුවෙති. " තාත්තා අම්මා අපට හරිම ආදරෙයි ඒ අය වයසට යද්දි අපේ දරුවන් බලාගෙන සතුටින් හිටියේ. අම්මාට, තාත්තා නැතුව බෑ. තාත්තාට අම්මා නැතුව බෑ. දෙන්නා හැම තිස්සේම හිටියේ එකට. හරියට කිරියි පැණියි වාගේ. තාත්තා කුරුඳු තලන කොට අම්මා ඒවාට උපකාර කරනවා. අපිට පොඩි කාලෙ ඉඳලාම මතකයි. ඒ බැඳීම මිය යන දවස දක්වාම මිය යන මොහොත දක්වාම තිබුණා. නාන්න ගමන් බිමන් ගියෙත් එකට. කෑම කෑවෙත් එකට. පන්සල් යන්තෙත් එකට. සිල් ගත්තෙත් එකට. එකම තැන තමයි දෙන්නා ඉඳගෙන බණ භාවනා කළෙත්. බෙහෙත් ගේන්න ගියෙ එකට. තාත්තට මොකක් හරි අමාරුවක් තිබුණොත් මෙන්න අම්මාටත් ඒ අමාරුවම හැදෙනවා. බෙහෙත් ගන්න දෙන්නම එක්ක යන්නෙ. අපි පුංචි කාලෙ අම්මා තාත්තා කිසිදා අමනාප වෙලා ඉන්නවා මම දැක්කේ නෑ. රණ්ඩුවෙනවා දැක්කේ නෑ. තාත්තා අම්මට කීවේ දරුවන්ගේ අම්මා කියලා. තාත්තා අම්මට කිව්වේ දරුවන්ගේ තාත්තා කියල. කහට කෝප්පයක් බිව්වත් දෙන්න එකට බෙදාගෙන තමයි බොන්නේ. තරුණ කාලෙ අපි පස් දෙනාම පාසල් අරගෙන ගියෙත් දෙන්නම පයින්. කඩේ ගියෙත් පොළේ ගියෙත් එකට. අම්මයි, තාත්තයි දෙන්නම කිසිම දවසක තනියම ගමනක් බිමනක් ගියා අපි දැකලා නෑ දෙන්නම යන්නේ නැතිනම් ඒ ගමන යන්නේ නෑ. උදේ සවස බුදුන් වදින්නේ එකට නිදිය ගන්නේ එකම වේලාවට. දෙන්නා දෙන්නාගේම වැඩ කරගෙන දෙන්නාම කටයුතු කරනවා. උයා පිහාගෙන කන දේවල්ද දෙන්නාම තමයි කළේ. අපි උදව් කරන්න හදනකොට උඹලට පිස්සුද ? උඹලගේ දරුවන්ගේ වැඩ තියෙද්දි අපේ වැඩ කරන්න හැකිද කියනවා. අපි ඉතින් අමතර යමක් ආහාරයක් හැදුවම ගෙනත් දෙනවා. ඒක හරියටම දෙකට බෙදලා කනවා මිසක කවදාවත් තාත්තා හෝ අම්මා වැඩිපුර ගන්නේ නෑ. මැරෙන දිනය මැරෙන මොහොත දක්වාම එකටම තමයි හිටියේ. දෙන්නාම කිය කියමයි හිටියෙ අපි දෙන්නා මැරුණාම එකම සොහොනක එකම වළක එකම පෙට්ටියක එකම දිනක එකම වේලාවක සිදුකරන්න කියලා. අපි ඒ නිසා අම්මලාගේ තාත්තලාගේ කැමැත්ත අනුව සියල්ලම සිදුකළා. මම හිතන්නේ මෙහෙම සිද්ධ වුණේ සංසාර පැතුමක් නිසා වෙන්න ඕන." සයිමන් ගුණවතී යුවළගේ වැඩිමල් දියණිය ඒ කිව්වේ ඈ උපන්දා සිට දුටු දේය. ඔවුන් ද දැන් වයසය. ඔවුන්ගේ ජීවිතයටත් අම්මා තාත්තාගෙන් ගත හැකි ආදර්ශයන් බොහෝය. ජීවිතය පුදුමය. කෙනෙකුට ඕනෑ විදිහට තම ජීවිතය ජීවත් කරවන්නට පුළුවන් වුවත් සොබා දහමට අනුව මියෙන්නට නම් හිතු මතේ බැරිය. එයට කාලය එනතෙක්සිටිය යුතුය. ඒත් සයිමන් ගුණවතී යුවළ ඒ ධර්මතාව බිඳ දමා ඔවුන්ට ඕනෑ විදිහටම ජීවිතයෙන් සමුගන්නා ගමනත් එකටම යන්නට ගියහ. සුනෙත් ගාල්ලගේ රොෂාන් තුෂාර
 

More News..