brand logo

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ ජනතා අවශ්‍යතාවයන්ට අනුව මිස දේශපාලන අවශ්‍යතාවයන්ට අනුව නොවේ

17 December 2019

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ ජනතා අවශ්‍යතාවයන්ට අනුව මිස දේශපාලන අවශ්‍යතාවයන්ට අනුව නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පසුගිය යහපාලන රජය සංවර්ධන කටයුතු සිදු කළේ දේශපාලන අවශ්‍යතාවයන්ට අනුව බව පෙන්වා දුන් රණතුංග මහතා නව රජය සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කරන්නේ ජනතා අවශ්‍යතාවයන්ට අනුව බව ද කීවේ ය. නව රජයේ 'සපිරි ගමක්' ව්‍යාපෘතිය පිළිබද ව ගම්පහ ආසනයේ රජයේ නිළධාරින් හා මහජන නියෝජිතයන් සමග ඊයේ (16) පැවති සාකච්ඡාවක දී රණතුංග මහතා මේ බව අවධාරණය කළේය. ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දි මෙම රැස්වීම පැවැත්විණ. ඉදිරි මාස 03 තුළ දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය වන පරිදි මෙම සපිරි ගමක් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වේ. අවමය රුපියල් ලක්ෂ 05ක හා උපරිමය රුපියල් ලක්ෂ 20 ක ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි ඉදිරිපත් කළ ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම වැඩ සටහන ක්‍රියාත්මකයි. ජන සහභාගිත්වය ඇතිව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම රජය විසින් අනිවාර්ය කර ඇති අතර මේ මස 31 වන දින සිට ව්‍යාපෘති හදුනාගෙන අදාළ යෝජනා ඉදිරිපත් කිරිමටත් ඉදිරි මාස 02 තුළ එම ව්‍යාපෘති අවසන් කිරිමටත් රජය උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේ ය. " මේ වැඩසටහන අපට අලුත් දෙයක් නෙමේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ අප මේ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ජන සහන ක්‍රමය හරහා පක්ෂ භේදයකින් තොරව ගමේ සියලුමදෙනා රැස්කරලා ගමේ විය යුතුම සංවර්ධන යෝජනාව හදුනාගෙන එය ක්‍රියාත්මක කිරිම තමයි අපේ ක්‍රමවේදය වුයේ. ඒ නිසා ගමේ සංවර්ධනය විනිවිදභාවයෙන් සිදුවුණා. නමුත් යහපාලන ආණ්ඩුව ඒ වැඩපිළිවෙල විනාශ කළා. ගමේ එක ගෙදරකට යන පාරවලුත් කොන්ක්‍රීට් කළා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. දේශපාලන අවශ්‍යතාවය නිසා. පසුගිය ආණ්ඩුව පසුගිය වසර 05 ම පළාත් පාලන ආයතන වලට වැඩ කරන්න දුන්නේ නෑ. ඔවුන් කළේ පළාත් පාලන ආයතන වල කකුලෙන් අදින එකයි. සංවර්ධන ව්‍යාපෘති කෙරෙන්න ඕනා ජනතා අවශ්‍යතා අනුවයි. එහෙම නැති කීපදෙනෙකුගේ මනදොළ සපුරන්න, නැත්තම් දේශපාලන පක්ෂ වුවමනාවට රටක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොකළ යුතුයි. මේ රට මුඩුබිමක් බවට පත්වෙලා තිබුණේ. දැන් මේ රට නැවත වැඩබිමක් බවට පත් වෙමින් තියෙනවා. යහපාලන ආණ්ඩුව යටතේ මේ රට දාලා යන්න හිතෙන රටක් බවට පත්වෙලා තිබුණේ. දැන් තමයි මේ රට ඇත්තටම ඉන්න හිතෙන රටක් බවට පත්වෙමින් තිබෙන්නේ".
 

More News..