brand logo

සංචාරක නියෝජිතයන් ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස්

02 June 2020

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කර තිබේ. එය මේ වසරේ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වෙයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සංචාරක නියෝජිත ආයතනවල ඉල්ලීම සලකා බැලීමෙන් පසුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පසුගිය දා අනුමැතිය හිමි වූ බවයි. මෙරටට සංචාරකයන් රැගෙන ඒම සඳහා ඉතා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන මෙම සංචාරක නියෝජිතයන් 1000 කට ආසන්න සංඛ්‍යාවකින් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී සිටින බව ද ඇමතිවරයා සඳහන් කරයි. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය යළි නඟා සිටුවිම සඳහා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ද අදහස් සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගනිමින් සිටින බව පවසන ඇමතිවරයා පෙන්වා දෙන්නේ සංචාරක නියෝජිතයන් රට තුළට රැගෙන එන සංචාර සඳහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කිරීම ඒ සඳහා ගත් එක පියවරක් බවයි. සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ඉල්ලීම අනුව තවත් පියවර රැසක් ඉතා කඩිනමින් ගැනීමට නියමිත බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තාවලට අනුව 2019 වසරේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 191,702 කි. ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3724 කි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ වසර 05 ක් තුළ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය දියුණු කරන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී ද කොවිඩ් 19 වසංගතය රට තුළ පාලනය කිරීමෙන් පසුව සංචාරක ක්ෂේත්‍රයේ අදාළ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටී.
 

More News..