brand logo

සංචාරක කර්මාන්තය නංවාලීමට ඇ.ඩො.මි 3.5ක්

08 July 2020

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියලුම වාහන සඳහා ලබා දී ඇති මාස 06ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සඳහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා දී ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. පවත්නා කල්බදු ගිවිසුම සලකා බැලීමෙන් තොරව හා සහන කාලයේ නොගෙවෙන ලද මුදල් සඳහා ගාස්තු රහිතව මෙම සහනය සැලැසීමට රජය තීරණය කර තිබේ. කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ සඳහා හිමිව ඇත. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ව්‍යාපාරික ස්ථානවල ජල හා විදුලි බිල්පත් ගෙවීම සඳහා ද සහන සලසා ඇතැයි ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා වූ විදුලි හා ජල බිල්පත් සැප්තැම්බර් මාසයේ සිට සමාන වාරික 12කින් ගෙවීමට ඉඩකඩ සලසා තිබේ. ඒ පිළිබඳව රජය දැනටමත් විදුලිබල මණ්ඩලය හා ජල සම්පාදන මණ්ඩලය දැනුවත් කර තිබේ. මේ අතර සංචාරක මගපෙන්වන්නට හා රියැදුරන්ට සහන සැලසීමේ වැඩසටහන සඳහා මේ වන විට අයැදුම්පත් 2500 පමණ ලැබී ඇත. කොවිඩ්-19 හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක මාර්ගෝපදේශකයන්ට රු.20,000ක මුදලකුත් රියැදුරන්ට රු.15,000ක මුදලකුත් ලබා දීමට නියමිතය. ඉදිරි සතිය වන විට එම ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය. කොවිඩ් හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා මේ අතර යුරෝපා සංගමය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක ප්‍රදානයක් ලබා දීමට නියමිතය. ඒ සඳහා අදාළ යෝජනා මේ වන විටත් යුරෝපා සංගමය වෙත ඉදිරිපත් කර තිබෙන බව ද ඇමැති පවසයි.
 

More News..