brand logo

සංචාරක කර්මාන්තය නංවාලීමට යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 3.5 ප්‍රදානයක්

20 May 2020

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටුණු මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා යුරෝ මිලියන 3.5 ක් ප්‍රදානයක් ලබා දිමට යුරෝපා සංගමය තීරණය කරයි. ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබා දෙන්නැ‘යි යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි (Denis Chaibi) මහතා සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් තානාපතිවරයා හා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (19) පැවති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම කෙරිණ. යුරෝපා සංගම් තානාපතිවරයා මෙහිදී කියා සිටයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට රජය ගෙනයන වැඩපිළිවෙලට සහාය පළ කිරීමක් ලෙස මෙම මුදල ලබා දිමට තීරනය කළ බව ද තානාපතිවරයා කියා සිටියේය. මෙම ප්‍රදානය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් සිය ස්තූතිය පළ කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ සදහා අදාළ යෝජනා කඩිනමින් යුරෝපා සංගමයට ලබා දෙන්නැ‘යි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව මේ වසරේ මාර්තු මාසයේ 19 වන දින ශ්‍රී ලංකාවට මගී ගුවන් යානා පැමිණිම අත්හිටුවන විට එම මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 71,370 කි. ඉන් 60% ක්ම පැමිණ ඇත්තේ යුරෝපා රට වලිනි. යුරෝපා රටවලින් මාර්තු මාසයේ දි මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 42,084 ක් වේ. මෙරට සංචාරකයන් පැමිණෙන ලොව ප්‍රධානතම කලාපය වන්නේ යුරෝපයයි. මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා වත්මන් රජය විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම හා එමගින් සිදුකරන විදේශ විනිමය උත්පාදනය ඉහළ නැංවීමත් තුළින් මෙරට ආර්ථිකය නංවාලීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ඇමතිවරයා 2025 වන විට මෙරටට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 07 දක්වා ඉහළ නැංවීමටත් ඒ තුළින් වසරකට ඇ.ඩො. බිලියන 10 ක විදේශ විනිමය උත්පාදනය කිරීමත් අපේක්ෂාව බව ද කීවේය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ ම සංචාරක කර්මාන්තය බිද වැටී ඇතත් අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එහි අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහුද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
 

More News..