brand logo

සංචාරකයන්ට ශීත ඍතුවේදී ලංකාවේ දොරටු ඇරීමේ තීරණය ?

04 October 2020

කොරෝනා පාලනය කිරීමේ සාර්ථකත්වයෙන් ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්වී ඇති නිසා සෞඛ්‍ය උපදෙස් අනුව වෙරළ ආසන්නයේ ඇති හෝටල්වලට පමණක් සංචාරකයන් ගෙන්වීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමත කළ යෝජනාව කොවිඩ් 1-9 පාලන කමිටුව යොමුකර ඇති අතර එම වාර්තාව හෙට (05දා) ලැබීමට නියමිත බව වාර්තා වේ. දැනට කොවිඩ් පාලනය වී ඇති ශීත ඍතුව ලබා තිබෙන රටවල් ඉලක්ක කර දින දාහතරකට (දින 14ක) වඩා වැඩි කාලයක් මෙරටෙහි ගත කිරීමට පැමිණෙන සංචාරකයන් ඉලක්ක කර මෙම යෝජනාව පසුගිය සැප්තැම්බර් 21 දින පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව 28 දින පැවති කැබිනට් මණ්ඩලය මගින් කොවිඩ් පාලන කමිටුවට යොමු කිරීමට තීරණය කර තිබුණි. එහෙත් ඊට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා නිරෝධායනය කරන ඒජන්තයන් විරෝධය දක්වා ඇති අතර ඒ සඳහා කොරෝනා පාලනයට සම්බන්ධ වී සිටින පිරිසගෙන්ද සහාය ලැබී ඇති බව වාර්තා වේ. රුසියාව, යුක්රේනය, කසකස්තානය, බෙලරූස් ආදී රටවල සංචාරකයන් ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිත සංචාරක අවසරයට දැනටමත් සංචාරකයන් හතළිස් දහසකට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව ගුවන් ගමන් ඒජන්තකරුවන් දන්වා ඇත. මත්තල ගුවන් තොටුපොළෙන් පමණක් සංචාරකයන්ට ඇතුළු වීමට අවසර දෙන අතර රටට පැමිණීමට පැය 72කට පෙර එරටින් පීසීආර් පරීක්ෂණ කර ඉන් සමත් වන අයට ලංකාවට ඇතුළු වීමට අවසර ලැබෙනු ඇති අතර මෙරටදී ද යළි පීසීආර් පරීක්ෂණයක් සිදු කරයි. මුහුදු වෙරළ ආසන්නයේ ඇති සංචාරක හෝටල්වලට පමණක් ඔවුනට ලැගුම් ගැනීමට අවසර ඇති අතර කාමරයේ හා ඉදිරිපිට ඇති වෙරළට පමණක් යාමට අවසර ලබාදෙයි. අදාළ හෝටල් සේවකයන්ද කොවිඩ් පාලන සෞඛ්‍ය අංශ උපදෙස් මත පිටතට යා නොහැකි අතර ඊට කිසිවෙකුටත් ඇතුළු වීමට හා පිටවීමට නොහැකි වන ලෙස මුහුදු වෙරළ ආශ්‍රිතවද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දින 14ට වඩා වැඩියෙන් සිටින සංචාරකයන්ට යළිත් සති දෙකකින් පීසීආර් පරීක්ෂණයක් කළ පසු රට තුළ සංචාරය කිරීමට අවසර ලැබේ. මේ ආකාරයට රුසියාවෙන් සංචාරකයන් විසිපන් දහසක් පමණ සෘජු ගුවන් යානා 82කින් ඔක්තෝබර් සිට ලබන වසරේ අප්‍රෙල් දක්වා මත්තල හරහා පැමිණීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ. යුක්රේනයේ සිට ගුවන් වාර 64කින් සංචාරකයන් දහතුන් දහසක්ද, කසකස්තානයෙන් ගුවන් වාර 13කින් සංචාරකයන් තුන්දහසක්ද පැමිණීමට කැමැත්ත පළකර තිබේ. එමගින් ඩොලර් මිලියන 70ක පමණ විදේශ විනිමයක් රටට උපයාගත හැකි බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..