brand logo

සංචාරකයන්ට දින 7කට පී.සී.ආර්. 2 ක්

08 January 2021

දින හතක් මෙරට රැඳී සිටින සංචාරකයන් පී.සී.ආර්. පරීක්ෂණ දෙකකුත්, දින හතකට වැඩි කාලයක් රැඳී සිටීනම් පී.සී.ආර්. පරීක්ෂණ තුනකුත් සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිකුත් කරන ලදමාර්ගෝපදේශන මාලාවේ සඳහන් වෙයි. මෙම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා එම සංචාරකයන් විසින් මුදල් ගෙවීම සිදුකළ යුතුය. එසේම මෙම සංචාරකයන් මාසයක් සඳහා වන කොවිඩ් - 19 රක්ෂණාවරණය ලබා ගැනීමටද කටයුතු කළ යුතුය. මෙම සියලු කටයුතු සඳහා උපදෙස් අන්තර්ජාල ජංගම යෙදුම හරහා ලබාගැනීමේ හැකියාව පවතින බවද එම මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වේ. එසේම මෙම සංචාරකයන්ගේ වීසා තොරතුරු ඇතුළු සියලු තොරතුරු සංචාරකයන් නවාතැන් ගන්නා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත යැවිය යුතු අතර, එම වෛද්‍ය නිලධාරීන් අදාළ තොරතුරු යාවත්කාලීන කළ යුතු බවද කියයි. මෙම සංචාරකයින් සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව ව්‍යාපාරික පන්තියේ වීසා ලබාගෙන මෙරටට පැමිණෙන විදේශිකයින්ට අදාළ නොවේ. සංචාරකයින් සඳහා වන මෙම සෞඛ්‍ය නීති රීති ඇතුළත් මාර්ගෝපදේශ මාලාව කොටස් 14ක් ආවරණය වන පරිදි නිකුත් කර ඇත. ඒ අනුව සංචාරකයින් රැගෙන කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල් වෙත පැමිණෙන සියලු ගුවන්යානා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය නීති රීති දැඩිව පිළිපැදිය යුතුය. එසේම පැමිණෙන සංචාරකයින් දින 14ක් ගතවනතුරු බාහිර සමාජයට යෑමෙන් වැළකී සිටිය යුතු බවද දැනුම් දෙයි. තවද සංචාරකයින් රැඳී සිටින හෝටල් සඳහා වෙන් වූ වෛද්‍යවරයකු සිටි යුතු අතර එම හෝටල්වල නවාතැන්ගෙන සිටින විදෙස් සංචාරකයින් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිතිපතා දැනුවත් කළ යුතුය. වරුණි පෙරමුණ
 

More News..