brand logo

සංචරණ සීමා ඉවත් නොකරන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

20 June 2021

    හෙට (21) දින සංචරණ සීමා ඉවත් නොකර එය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සඳහන් කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අප්‍රේල් මාසයේ පැවති දරුණු තත්ත්වයට රට යළි ගමන් කිරීමේ අවදානමක් නිර්මාණය විය හැකි බවයි. මෙරටට කොවිඩ් තත්ත්වය හමුවේ ලබන 28 වෙනි දින දක්වා හෝ දීර්ඝ කරන ලෙස සිය සංගමය මීට පෙර ඉල්ලීමක් කර තිබූ බවත්,ලබන 21 වනදා සිට 23 වනදා දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යළි පැනවීමේ පදනම කුමක් ද යන්න පැහැදිලි නොවන බවත් ඔවුන් පෙන්වා දෙයි. සංචරණ සීමා පැවතියද වර්තමානයේ දෛනිකව නව ආසාදිතයින් 2,000 ඉක්මවූ සංඛ්‍යාවක් සහ මරණ 50 ඉක්මවා වාර්තා වන බවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද මෙරට සමාජයෙන් හමුවීමෙන් පවතින අවදානම තවදුරටත් ඉහළ යන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. මේ නිසා තීරණාත්මක අවස්ථාවක් බැවින් සංචරණ සීමා ඉවත් කිරීමකින් තොරව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එලෙස නොවුන හොත් සංචරණ සීමා ක්‍රියාත්මක කරමින් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සති තුනක කාලයක් කළ කැපකිරීම් ප්‍රතිඵල රහිත වනු ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි. මේ අතර එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරට නොයන ලෙසයි.
 

More News..