brand logo

සංගීත් අයියා තමයි මාව රඟපාන්න එක්කගෙන ආවේ

25 September 2021

ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම කවඩියව දන්නවා

සංගීත් අයියා තමයි මාව රඟපාන්න එක්කගෙන ආවේ

ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම සෙනාලි අක්කට ආසයි

මුලදි නම් අප්පච්චි ටිකක් බය වුණා

නර්තනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණත් ලැබුවා

උපන් ගම එප්පාවල

දිගටම රඟපානවද කියලා තවම තීරණය කරලා නැහැ

නිළියක් වෙන්න හිතලා තිබුණේ නැහැ

මේ දිනවල බොහෝදෙනා අතර කතාවන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකා කියන්නේ කාගේත් මතකයේ රැඳෙන චරිතයක්. ඒ වගේම ඇය නිරූපණයෙන් දායක වූ චන්ද්‍රා පායන්න ගීතයටත් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. අනුරාධපුරයේ ඉඳලා කොළඹට ආපු ගීතිකාගේ ජීවිතේ ගැන දැනගන්න ගොඩාක් දෙනෙක් කැමැති ඇති. මේ නිසාම මෙවර අපි පිනිපලස කතාබහට ගීතිකාව එකතු කර ගන්න තීරණය කළා. ඉතින් ජීවිතේ ගැන කතා කරන්න ප්‍රවීනා කල්පනී දිසානායක එකතු වුණේ මේ ආකාරයට. මගේ ගම අනුරාධපුරයේ එප්පාවල. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි අධ්‍යාපන කටයුතු නිමා කළේ. නිළියක් වෙන්න නම් කවදාවත් හිතලා තිබුණේ නැහැ. නමුත් නොහිතපු මොහොතක දෛවයේ සරදමකට අහම්බෙන් හරි නිළියක් වුණා. දැන්නම් මේ ගැන මම සිය දහස් වාරයක් සතුටු වෙනවා.

නිළියක් වෙන්න මූලික අඩිතාලම වැටෙන්නේ කවඩියගේ චරිතය නිරූපණය කරන සංගීත් අයියා නිසා. සංගීත් අයියත් අනුරාධපුරයේ. ඔහු ඉගෙන ගත්තේ නිවංතක චේතියේ මහා විද්‍යාලයේ. අපේ එහා පැත්තේ ඉස්කෝලේ නිසා කාලෙක ඉඳන් ඔහුව හඳුනගෙන තිබුණා. ඒ හිතවත්කම තමයි නිළියක් වීමේ කාරණාවට මග සකස් කරන්නේ. නමුත් සංගීත් අයියා හරහා චාමර හා සද්ධාමංගල මහත්වරුන්ව හඳුන ගන්නවා. එතනදී අවශ්‍යතා හා දක්‍ෂතා සම්පූර්ණ කරලා තමයි නිළියක් ලෙස මගේ කාර්යභාරය ආරම්භ කරන්නේ.

ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඩාන්සින්වලට ලොකු කැමැත්තක් තිබුණා. ඒ වගේම ළමා නාට්‍ය කිහිපයකත් රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ වුණාට මගේ හීනය වෙලා තිබ්බේ කවදාහරි වෛද්‍යවරියක් වෙන්න. ඒ වෙනුවෙන් මම ගොඩාක් මහන්සි වුණා. නමුත් ඒ අවස්ථාව පසෙක ලා නිළියක් වීමේ වාසනාව මා ඉස්සරහට ආවේ මටත් හිතා ගන්න බැරි විදිහට. අපේ පවුලේ කලාවට සම්බන්ධ කවුරුත් උන්නේ නැහැ. අප්පච්චි ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධයි. අම්මා රජයේ නිලධාරිනියක්. ඒ දෙන්නට හිටිය එකම දුව මම. ඒ දෙන්නාගේ හිතෙත් මා ගැන ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ වගේම ලොකු විශ්වාසයක් මා ගැන තියාගෙන ඉන්නවා. නිළියක් විදිහට මේ ක්‍ෂේත්‍රයට පිවිසෙනකොට මාව වැළැක්වූවේ නැත්තේ ඔවුන්ට මා ගැන තියෙන විශ්වාසය නිසාමයි. ඒ වගේම අදටත් මම ඒ විශ්වාසය අකුරටම රකිනවා. මුලින්ම මම මේ ගැන අප්පච්චිට කිව්වහම චුට්ටක් විතර බය වුණා. නමුත් පසුව ඔහු ක්‍ෂේත්‍රය පිළිබඳ විස්තර හොයලා බැලුවා. දැන්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රධාන දර්ශන තලයක රඟපාල නොතිබුණ මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ සෙනාලි අක්කාත් එක්ක. මීට කලින් කවදාවත් මට සෙනාලි අක්කාව සැබෑවට මුණගැහිලා තිබුණේ නැහැ. හැබැයි ගෙදර ඉන්න කාලේ ඇයගේ රඟපෑම් රූපවාහිනියෙන්, සිනමාවෙන් මම දැකලා තියෙනවා. ඒ නිසා ඇය මා කැමැතිම නිළියන්ගෙන් එක්කෙනෙක්. ඒ ආකාරයට මා ආදරය කරපු රංගන ශිල්පිනියක් සමග මගේ ප්‍රථම රංගනය ඉදිරිපත් කරන්න ලැබීම මා ලබපු ලොකු භාග්‍යයක්. සෙනාලි අක්කත් එක්ක පන්ති යන දර්ශනයක් තමයි මුලින්ම රඟපෑවේ. ලංකාවේ ජනප්‍රියතම හා දක්‍ෂතම නිළියක් වෙච්ච ඇය හරිම නිරහංකාරව මට උදව් කළා. ඇගේ ඒ සරල නිහතමානීකමට අදත් මම ආදරෙයි. දැන්නම් නාඩගම්කාරයෝ දර්ශන තලයේ පුදුමාකාර සතුටකින් ඉන්නේ. විශේෂයෙන්ම ඉතා කෙටිකාලයකදී මගේ ආගන්තුකබව නැති කරන්න අපේ කණ්ඩායමට පුළුවන් වුණා. සජිත අයියලාගේ සංගීත් අයියලාගේ විහිළු මැද්දේ ගෙවන ජීවිතේ හරිම සුන්දරයි. රඟපාන හැම දවසකම එකතුවන මතකය හරිම සුන්දරයි. එක දර්ශනයක මට තිබුණා සරාව වතුරට තල්ලු කරන්න. සජිත අයියාව තල්ලු කළාම ඔහු වතුරට වැටිලා නටපු හැටි මතක් වෙනකොට තාමත් හිනා යනවා. අනිත් කාරණාව තමයි කෝකිල අයියාගේ කතා විලාශය. මුලින්ම කෝකිල අයියා කාර් එකෙන් බැහැලා බියුටි බියුටි කියාගෙන එනකොට මේ ඉන්නේ දර්ශන තලයක කියන එකත් මට අමතක වුණා. ඒ තරමටම හිනා ගියා. ඒ තරම් හිනා යන දේවල් මේ නාට්‍ය ඇතුළේ තියෙනවා. වරද්දන්නේ නැතිව හැමදාම රෑට නාට්‍ය බලනකොට මේවා මතක් කර කර හිනා වෙනවා.

කොළඹට මම ආගන්තුකයි. මගේ ඥාති සොහොයුරියකගේ ගෙදර ඉඳලා තමයි රූ ගත කිරීම් සඳහා සම්බන්ධ වෙන්නේ. ඒ අය ඉතාමත් හොඳින් තමන්ගේ කෙනෙකේ වගේ මාව බලා ගන්නවා. මේ දවස්වල නිරෝධායන නීති රකිමින් බොහොම පරිස්සමට අපි නාට්‍යයේ රූපගත කිරීම් කරගෙන යනවා. ඔය අතරේ තමයි චන්ද්‍රා පායන්න ගීතයේ රංගනය සඳහා චමිල් පතිරණ මට කතා කරන්නේ. ශෂිකා අක්කාගෙත් ආශිර්වාදය මැද්දේ මට ඒ අපූරු අවස්ථාව ලැබුණා. එක දවසක රූපගත කිරීමකින් නිමාවට පත්වන ගීතය මුළු රටක් මාව හඳුන ගන්න සිදුවීමක් බවට පත්වෙනවා. මේ ගීතය හරහා අසීමිත ජනප්‍රියත්වයක් මට හිමි වෙනවා. නාඩගම්කාරයෝ මගෙ පළවෙනි නාට්‍ය වගේම චන්ද්‍රා පායන්න මගේ පළවෙනි ගීත රංගන අත්දැකීම වෙනවා. දෙකම අතිශයින් ජනප්‍රිය වීම වාසනාවේම කොටසක් කියලා මට හිතෙනවා.

දිගටම රංගනයේ නිරත වෙනවද කියන එක තාම තීරණය කරලා නැහැ. ඉහළට ඉගෙන ගන්නත් ආසයි. මේ නිසා තමයි උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ. හැබැයි රංගනය කියන්නේ දැන් මම කැමැත්තෙන් කරන දෙයක්. ඒක නිසා අනිත් දේවල් සමග රංගනයත් සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා. තනියම ඉන්නකොට මම කල්පනා කරනවා මගේ ජීවිතේ ඇවිත් නතරවෙලා තියෙන තැන ගැන. ඇත්තටම මට හිතා ගන්න බැහැ. මමත් දැන් ලංකාවේ ජනප්‍රිය නිළියක්. හැබැයි සාමාන්‍ය කෙල්ලෙක් විදිහට උන්න කාලෙයි දැන් ජීවිතෙයි ලොකු වෙනසක් නැහැ. සිතුවිලිවලින් මම තාමත් එදා රවීණා උනාට ප්‍රේක්‍ෂකයන් අතරේ ඊට වඩා ඉහළ තැනක් ලැබිලා. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. හැබැයි ජීවිතේනම් ගොඩක් කාර්යබහුල වෙලා. ඉස්සර තිබුණ නිදහස දැන් නැහැ. ස්කූල් බස් එකේ උදේ පාන්දර එප්පාවල ඉඳලා අනුරාධපුරයට ගිය සැහැල්ලුව දැන් නැහැ. අද පාරේ බස් එහෙකවත් නිදහසේ යන්න බැහැ. හැමෝම ගීතිකා ගීතිකා කියලා කතා කරනවා. එහෙම ආදරයක් ලබන්න වාසනාවත් තියෙන්නත් ඕනි. නමුත් කිරිල්ලියක් වගේ නිදහසේ උන්න ජීවිතේ අහිමිවීම ගැන නම් පුංචි දුකක් හිතේ නැතුවම නෙමේ. අනෙක හිතුමතේ වැඩ කරන්න බැහැ. අපි නොහිතුවට හැමෝම අපි දිහා බලාගෙන ඉන්නවා. පුංචි අත් වැරැද්දත් ගොසිප් එකක් වෙන්න ගත වෙන්නේ තත්පරයයි. නමුත් මම කාලයත් එක්ක ඉගෙන ගත්තා මේවා සුළු දේවල් කියලා. ඒක නිසා දැන්නම් ගොසිප්වලට බය නැහැ. ඉඩක් ලැබෙන හැම වෙලාවකම ගෙදර ගිහින් එන්න යනවා. ගෙදර ගියහම පාසලේ යාළුවෝ, අඳුරන අය නිතරම බලන්න එනවා. ඉස්කෝලේ ටීචර්ස්ලාට එහෙම මම ඉන්න තැන ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඉස්සර ඉඳලම නර්තනයට ලොකු කැමැත්තක් තිබුණා. නර්තනය වෙනුවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා අත්කරගෙන තියෙනවා. 2012 වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ජයග්‍රහණවලටත් හිමිකම් කිව්වා. නර්තනයත් මගේ රංගනය සාර්ථක කර ගැනීමට එක හේතුවක් වුණා. ආදරය ගැන නම් තාම හිතලා නැහැ. ඉස්කෝලේ යන කාලේ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දුන්නා මිසක් ප්‍රේමවන්තියක් උනේ නැහැ. තවමත් ඒ දේවල් වලට කල් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මම ගෙදර එකම දුව. ආදරය ගැන හිතනකොට අනිවාර්යයෙන්ම දෙමාපියන්ගේ සතුට ගැනත් හිතන්න වෙනවා. ඒකනිසා ප්‍රේමය කියන කතාව අනාගතයට භාරදීලා වර්තමානයේ කටයුතු සාර්ථක කර ගන්න තමයි උත්සාහ කරන්නේ. මම ප්‍රේමවන්තියක් නොවුණට මට ආකර්ෂණය වුණු ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අයට දොස් කියන් මට බැහැ. මොකද ඒ අය ළෙන්ගතු ගීතිකාට. නමුත් ප්‍රවීනා කල්පනී ගැන දන්නේ මමත් මගේ අවට සිටි පිරිසත් විතරයි. ඒ නිසා ගීතිකාගේ අනාගතයට වඩා වෙනස් අනාගතයත් ප්‍රවීනාගේ ජීවිතයට උදා වෙයි. මේ ලැබුණ ජනප්‍රියත්වය ආභරණයක් කියලයි මම හිතන්නේ. හැබැයි ඒ ආභරණ පැලඳගෙන අඩියක් දෙකක් උඩින් යන්න නම් හිතක් නැහැ. තවමත් අනුරාධපුරයේ වෙල්යාය මැද්දෙන් දුවපු සරල ජීවිතයට තමයි කැමැති. ඒ නිසා ඉස්සරහට මොන ජනප්‍රියත්වයක් ලැබුණත් මේ ගෙවන සරල ජීවිතේ දශමයක්වත් වෙනස් වෙන එකක් නැහැ. මගෙත් එක්ක ළඟින්ම වැඩ කරන සෙනාලි අක්කගෙනුයි, නිම්මි අක්කගෙනුයි ජීවිතයට බොහෝ උපදෙස් ලැබෙනවා. මේ නිසා එයාලා තමයි මගේ ජීවිතේ ළඟින්ම ඉන්නේ. ඒ ළෙන්ගතුකම්වලට බැඳීම්වලට මම හරිම ආදරෙයි. කෙනෙක්ට ජීවිතයේ ලැබෙන පළවෙනි අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක් වෙනවානම් ඒක තමයි ලොකුම භාග්‍ය. මට ඒ මහඟු අවස්ථාව උදා වුණා. රඟපාපු පළවෙනි නාට්‍යයම ලංකාවේ ජනප්‍රිය නාට්‍ය බවට පත් වුණා. ඒ නිසා අනුරාධපුරයේ උන්න මම එක රැයකින් ජනප්‍රිය නිළියක් වුණා. ආරම්භය හරිම සතුටුදායකයි. අවසානයත් ඒ වගේම ජයග්‍රහණයකින් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..