brand logo

සංගීතය අත්හැර කහ වවන රහල්

28 November 2020

ගායකයෙක්, සංගීත නිර්මාණකරුවෙක් වගේම කාලයක් නිවේදකයෙක් ලෙසත් කටයුතු කළ රහල් අල්විස් කාලයෙන් කාලයට සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති මවන්නෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලේ නිහඬව හිටිය ඔහු ඔන්න ආයෙත් කරළියට ඇවිත්. මෙවර රහල්ගෙ ආගමනය සිද්ධ වුණේ සංගීතය පැත්තෙන් නම් නෙමෙයි. මේ දවස්වල ගෘහණියන් මුහුණ දෙන මුළුතැන්ගෙයි ප්‍රශ්නයකට විසඳුමක් එක්ක. කොහොම වුණත් රහල් සංගීතය පැත්තකින් තියලා කහ ප්‍රශ්නය විසඳන්න පොළොව එක්ක හැප්පෙනවා කියලා ආරංචි වුණා. අපි රහල් හොයාගෙන දඹුල්ලට ගියේ කහ ගන්න නෙමෙයි. රහල්ගෙන් කහගන්න කැමැති උදවියට පාර පෙන්නන්න. සංගීත භාණ්ඩ පැත්තකින් තියලා උදැල්ල අතට අරගෙන වගේ? රටේ ප්‍රශ්නයක් ති​ෙයනවා. තරුණයො විදියට අපිට අතපය අකුළගෙන බලාගෙන ඉන්න බෑනේ. කාට කාටත් දොස් කිය කිය ඉන්නවට වඩා අපිට පුළුවන් විදියට රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන එකේ වරදක් නෑනේ. ගොවිකම මතක් වුණේ සංගීත ප්‍රසංග අඩු වුණ නිසාද? සංගීතය මගේ ජීවන වෘත්තිය නෙමෙයි. මට කවදත් පොඩි පොඩි ව්‍යාපාර තිබුණා. සංගීත කටයුතුවලට වුණත් මම වියදම් කළේ ඒ ව්‍යාපාරවලින් ලැබෙන මුදල්. ඒ නිසා සංගීත ප්‍රසංග නෑ කියලා මට ජීවත් වීමේ ප්‍රශ්න නම් නෑ. කහයි රහලුයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? අපේ රටේ මිනිස්සු කහ එක්ක තියෙන්නෙ ලොකු සම්බන්ධයක්. ඉවුම් පිහුම්වලට වගේම බෙහෙතක් විදියටත් අපිට කහ බොහොම වැදගත්. අපේ රටට අවශ්‍ය කහ ප්‍රමාණය අපේ රටෙන්ම සම්පූර්ණ කර ගන්න පුළුවන්කම තියෙද්දි තමයි වෙනත් රටවලින් කහ ආනයනය කළේ. කහ ආනයනය නතර කරපු ගමන්ම කහ හිඟයක් ඇතිවුණා. ඒ වෙලාවෙ අපිට හිතුණා මේ කහ හිඟයට විසඳුමක් විදියට කහ වවන්න. රටේ අවශ්‍යතාවට ඇති වෙන්න කහ වවන්න තමයි අපි තීරණය කළේ. රනිල් කහ කොච්චරක් වවලා තියනවාද? අක්කර දෙකක්. අක්කර දෙකක් වවලා ද කහ හිඟයට විසඳුම් හොයන්න යන්නේ? මම වැව්වෙ අක්කර දෙකයි. ඒත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කහ සමිති 27ක්. කහ ගොවියෝ 1800ක්. අපි තරුණ පරම්පරාවට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම නැතුව මේක මට, අපිට විතරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මට පේන්නේ රහල් පස්සෙන් මේ වැ‍ඩේ මහ මොළකරුවෙකුත් ඉන්නවා වගේ? අපොයි ඔව්. මේ ව්‍යාපෘතියට අත ගැහුවෙ ADC GROUP කියන අපි කණ්ඩායම. දඹුල්ලෙ හිතවතුන් පිරිසක්. සම්පත් අයියා තමයි මේ වැඩේ මහ මොළකරු. එයා තමයි අපිව මේ වැ‍ඩේට උනන්දු කළේ. ගොවිකම හිතට අල්ලලා වගේ? අනිවාර්යයෙන්ම. අපිට අවශ්‍ය කහ බීජ ති​ෙයනවා. නැත්තේ ඉඩම් විතරයි. වගා කරන්නෙ නැතුව අතහැරදාලා තියන හිස් ඉඩම් අපට දුන්නොත් අපි වගා කරලා අස්වැන්නත් විකුණලා බිම් පංගුව අයිතිකාරයට දෙනවා. අපිට ඕනේ අපේ රටේ කහ අවශ්‍යතාව සපුරලා දෙන්න. පහුගිය කොරෝනා කාලෙ නේද මේ වැ‍ඩේට අත ගැහුවෙ? ඔව්. මම අපේ තරුණ පරම්පරාවටත් කියන්නෙ ෆෝන් එක ඔබ ඔබ අන්තර්ජාලයේ නිකරුණේ සැරිසරලා කාලෙයි, මුදලුයි විනාශ කර ගන්නවට වඩා අපිටයි, රටටයි වැඩක් ඇති වැඩක් කරන්න ඕනෑ. මම ඒ වැඩේට අතගැහුවා. හරිම තෘප්තිමත් වැඩක් මේ ගොවිකම. ඔබටත් පුළුවන් මම බොරුද කියන්නෙ කියලා බලන්න. මේ යන විදියට අලුත් නිර්මාණයක් රහල්ගෙන් දැක ගන්න රසිකයන්ට තව කාලයක් බලන්ඉන්න ‍වෙයි? ඒකට තව මාස දෙක තුනක් නම් ඉවසන්නම වෙනවා. තව මොනවද ඉදිරි සැලසුම්? වැඩිහිටි නිවාසයක් ආරම්භ කරන්න ඕනෑ.අපේ රටේ බහුතරයක් මිනිස්සු වැඩිහිටියන්ට හරියට සලකන්නෙ නෑ. පහුගිය දවස්වල මම දැක්කා තාත්තා කෙනෙක් මහ මඟ දාලා ගිහින්. මම ඒත් කිව්වා භාර ගන්න කෙනෙක් නැත්නම් මට දෙන්න මම බලාගන්නම් කියලා. මම මගේ දෙමව්පියන්ට ආදරෙයි. රහල් අදහස් අතින් ටිකක් වෙනස් කෙනෙක්? ඔව්. සමහරු මට කියනවා මම පණ්ඩිතයි, මට පිස්සු කියලා. අනේ මම ඒ මගේ පණ්ඩිතකමට, පිස්සුවට ආසයි. මොකද මගේ පණ්ඩිතකමින් කාටවත් කරදරයක් නෑනේ. මම බොහොම සරල, පොළවෙ පය ගහලා ඉන්න කෙනෙක්. ජීවිතේ බෙදා හදා ගන්නත් කෙනෙක් හිටියොත් හොඳයි නේද? හොඳයි නම් තමයි. අම්මයි,තාත්තයි මේ දවස්වල හොයනවා. ඇයි රහල්ට හොයා ගන්න බැරිද? මම කිසිම දෙයක් පස්සෙන් ගිහින් ගන්නෙ නෑනේ. ලැබුණොත් ගන්නවා. තමන් කැමැති කෙනෙක් පස්සෙ ගිහින් අමාරුවෙන් ලබා ගන්නකොට, අමාරුවෙන් ලබා ගන්න දේත් වටිනාකමක් තියනවා? අම්මෝ..... පස්සෙන් ගිහින් අමාරුවෙන් ලබා ගෙන ඊට පස්සෙ එයාගෙ ගණන් බලනවාට වැඩිය හොඳයි අම්මලට හොඳයි කියලා හිතෙන කෙනෙක් විවාහ කර ගන්න එක.   හිමේෂා සවන්තී රාජපක්ෂ
 

More News..