brand logo

සංගාගේ අනුහසින් ගාල්ල තවත් ලෝඩ්ස් පිටියක් වෙයි

09 November 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරන්තර ජය බිමක් විදිහට අප ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හඳුනාගෙන තිබෙන්නේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අප ලද සොඳුරු ක්‍රිකට් අත්දැකීම් මෙපමණකැයි කියන්නට බැරි තරම්. ඒ අපූරු ක්‍රිකට් පැටිකිරිය තවත් අගනා සටහනක් එක්කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය හිමිව තිබෙන අයුරු දකින්නට ලැබෙයි. ඒ එම්.සී.සී. ශූරතා ප්‍රාන්ත තරගය 2020 (MCC Champion Country Match) පවත්වන්නට ශ්‍රී ලංකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තෝරා ගැනීමත් සමගය. MCC යනුවෙන් අප හඳුන්වන්නේ මැරිලිබෝන් එසේත් නැති නම් මාලිබෝන් ක්‍රිකට් සමාජය (Marylebone Cricket Club) යි. MCC Champion Country Match යනු වසර ගණනක සිට පැවැත එන සම්ප්‍රදායකි. එනම් නව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියකට පෙර පසුගිය වසරේ ප්‍රාන්ත තරගාලියේ ශූරයන් හා එම්.සී.සී. පිල අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමේ සිරිතයි. ඒ අනුව මෙවර මේ සුවිශේෂී ක්‍රිකට් තරගය පැවැත්වීම සඳහා ඔවුන් තෝරාගෙන සිටින්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඒ 2020 මාර්තු 24 සිට 27 වැනිදා දක්වායි. මේ ඉසව්ව සඳහා ඇම්.සී.සී.යට සම්බන්ධ කරගන්නේ ඇයි දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. ඇම්.සී.සී.ය හෙවත් Marylebone Cricket Club ආරම්භ වන්නේ 1787 තරම් ඈතකදීය. එමෙන්ම 1814 වසරේ සිට ඔවුන්ගේ නිත්‍ය ක්‍රීඩා පිටිය වශයෙන් තෝරාගෙන තිබෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියයි. අනෙක් අතට මේ ක්‍රීඩා සමාජය මේසා ගරු සරු ලෙස සලකනු ලබන්නට හේතුවී ඇත්තේ එය කලක් තිස්සේ එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලන ආයතනය වශයෙන්ද කටයුතු කර තිබීම හේතුවෙනි. සෑම වසරකම ප්‍රාන්ත තරගාවලිය ඇරඹීමට පෙර මෙසේ ඔවුන් මේ තරගයට සහභාගි වන්නේ ඒ කීර්තිමත් අතීතය සිහිකරනු ද පිණිසය. සිව්දින පළමුපෙළ ක්‍රිකට් තරගයක් වශයෙන් සලකනු ලබන මේ සුවිශේෂී තරගය 2010 වර්ෂය දක්වාම පැවැතියේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයෙහිය. 2018 දී මෙම තරගය අබුඩාබියේ ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු අතර මෙම වසරේ එය බාබේඩස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. මේ තරගය තවත් එක් අතකින් අපට සුවිශේෂී වන්නේ එහි නායකත්වය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් දරනු ලැබීමය. ඇම්.සී.සී. යේ පළමු විදෙස් සභාපතිවරයා වශයෙන්ද ගෞරව සම්මානයට පාත්‍ර වූ සංගක්කාර විසින්ම එම ක්‍රිකට් සමාජ ක්‍රිකට් පිලද මෙහෙයවනු ලැබීම අපූරු කාරණයකි. 2011 වසරේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ කවුඩ්රි දේශනය පැවැත් වූ දා සිටම පාහේ එම්.සී.සී.යෙන් සංගක්කාරට ලැබුණේ ඉහළ පිළිගැනීමකි. 2012 දී ඔහුට එහි යාවජීව සාමාජිකත්වය ලැබුණු අතර එම වසරේ දීම ඔහු ඇම්.සී.සී. ලෝක ක්‍රිකට් කොමිටියේ සාමාජිකයකු ලෙස තෝරා ගන්නා ලදී. ඇම්.සී.සී. යේ බ්‍රිතාන්‍ය නොවන පළමු සභාපතිවරයා ලෙස සැලකෙන්නේද කුමාර් සංගක්කාරයි. වර්තමාන සභාපතිවරයා වූ ඇන්තනි විල්ෆෝර්ඩ් විසින් ඉදිරි වසරක කාලයක් වෙනුවෙන් කුමාර් සංගක්කාර එහි සභාපතිවරයා වශයෙන් යෝජනා කරන ලද්දේ මේ ඔක්තෝබරේදීයි. ‘‘මේ සා ගෞරවණීය තනතුරකට මා තෝරා ගැනීම පිළිබඳව ඇත්තේ බලවත් සතුටක්. එක් අතකින් එය මගේ බලාපොරොත්තුවක් ඉටුවීමක් විදිහටත් දක්වන්නට පුළුවනි. මා දන්නා විදිහට එම්.සී.සී. කියන්නේ ලෝකයේ තිබෙන ඉහළම පිළිගැනීමක් සහිත ක්‍රිකට් සමාජයයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව පිණිස පිටියෙන් එපිට එමගින් කෙරෙන කාර්ය ඉතා වැදගත්. ඒ වගේම සුවිශේෂීයි.’’ කුමාර් සංගක්කාර පවසයි. ඇම්.සී.සී. පිලේ මේ සංචාරය වඩා වැදගත් වන්නේ එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයත් ඒ දින වකවානුවලදීම පාහේ වැටී තිබීමයි. ඇම්.සී.සී. හා ප්‍රාන්ත ශූරයන් අතර මේ සම්ප්‍රදායික ක්‍රිකට් තරගය 1970දී පමණ පටන් ගත්තකැයි කියැවෙන්නේ නමුදු එය 1901 දක්වා ඈතකට යන බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙයි. එවක ශූරයන් වූ යෝක්ෂයර් පිල හා අවශේෂ එංගලන්ත පිල අතර මෙබඳු තරගයක් පැවැත්වී තිබේ. ඒ තරගයෙන් එංගලන්ත අවශේෂ පිල දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නට සමත් විය. එතෙක් ශූරයන් සමග තරගාවලියක් අවසානයේ පවත්වන්නට පුරුදුව සිටි මේ ක්‍රිකට් තරගය නව තරග වසරක් ඇරඹීමට පෙර පැවැත්වීමේ අදහස පළමුවරට අත්හදා බැලුනේ 1970දීය. ඇම්.සී.සී. පිලත් 1969 ශූරයන් වූ ග්ලැමෝගන් පිලත් අතරය. පාලිත ජයකොඩි
 

More News..