brand logo

ශීත සෘතුවේ එන සංචාරකයන්ට මුහුද වටේ නවාතැන්

23 September 2020

ශීත සෘතුවේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට පළමු දින 14 තුළ මුහුදු තීරය ආශ්‍රිත සංචාරක හෝටල්වල පමණක් නවාතැන්දීමට තීරණය කර ඇත. ඉන්පසු රට අභ්‍යන්තරයේ සංචාරය කිරීම සඳහා අවසර ලබාදෙන බව සංචාරක කටයුතු අමාත්‍යාංශය පවසයි. ශීත සෘතුව එළැඹෙන ඔක්තෝබර් මස ආරම්භ වී ලබන වසරේ 2021 අප්‍රේල් මාසයෙන් අවසන් වේ. මෙම කාලයේ ගුවන් යානා 159කින් සංචාරකයන් 44,000ක් රැගෙන ඒමට සංචාරක කටයුතු මෙහෙයවන ආයතන සැලසුම් කර තිබේ. යුක්රේනය, බෙලරුසියාව, කසකස්ථානය යන රටවලින් මෙම සංචාරකයන් පැමිණීමට නියමිතය. මෙම සංචාරකයන්ගේ සියලුම ගුවන් ගමන් මත්තල ගුවන් තොටුපළින් පමණක් සිදුකරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ඇමැති මණ්ඩලයට යොමු කළ සංදේශයක සඳහන් වෙයි. සිය මව් රටෙන් පිටත්වීමට පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයන් සිදුකර එය සෘණාත්මක නම් පමණක් සංචාරක වීසා නිකුත් කිරීමට අමාත්‍යංශය තීරණය කර ඇත. එමෙන්ම සංචාරකයන්ට කොවිඩ් වසංගතයද ආවරණය වන පූර්ණ සෞඛ්‍ය රක්ෂණාවරණයක් තිබීමද අනිවාර්ය වෙයි. සංචාරකයන් රැඳී සිටින කාලයේ හෝටල් කාර්ය මණ්ඩලයද ඔවුන් පිටත්ව යනතෙක් එම හෝටල් පරිශ්‍රයේ නවාතැන් ගත යුතු බව අමාත්‍යංශය සඳහන් කරයි. උදයජීව ඒකනායක
 

More News..