brand logo

‘‘ශිල්ප දිරිය”, පාස්කු ඉරුදින ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කළ වගයි

28 December 2019

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සෙත් සරණ කරිටාස්, කොළඹ ආයතනයේ අධ්‍යක්ෂ ගරු ලෝරන්ස් රාමනායක පියතුමා, ආසිආටා සමූහ බර්හාඩ් හි දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන විධායක, ආයතනික විධායක උපසභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ විධායක සුපුන් වීරසිංහ යන ආරාධිතයින් විසින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ පැවති වැඩසටහනේදී, කටුවාපිටියේ සහ කොච්චිකඩේ සිදුවීම්වලින් විපතට පත් දරුවන් සඳහා දිගුකාලීන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කරමින්. කොළඹ අගරදගුරු පදවිය ඩයලොග් Rally to Care පදනම සමග අරමුදල් පරිත්‍යාගශීලීන් වෙත ප්‍රණාමය. කටුවාපිටිය සහ කොච්චික​ඩේ දේවස්ථානයන් වලදී විපතට පත් දරුවන් 287කට ශිල්ප දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි. වේදනාව යනු අපව දවාලන්නක් නොව අපව දීප්තිමත් කරන්නක් බව මොහොතකට සිතුවාද? නොයෙකුත් තැලීම්, රිදීම් මැද අපට නිවැරදි මග පෙන්වන මෙය, පෙරළා නැඟී සිටීමට අවශ්‍ය අයෝමය වූ ශක්තිය සපයයි. අනේක වූ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන අප, හෙට දිනයේදී නොසැලී ජීවිතයට මුහුණ දිය යුතුය. මෙහිදී අපට එම ශක්තිය ලබා දෙන්නේ අප ලබන්නා වූ අධ්‍යාපනයයි. යම් අධ්‍යාපනයකින් වේදනාව මුදාලන්නේ නම්, ජීවිතයේ විමුක්තිදායක මාර්ගය උදාකාර දෙන්නේ නම්, එය සැබෑම අධ්‍යාපනයක් වන්නේය. එම සැබෑ අධ්‍යාපනය සුරකිමින්, එම අධ්‍යාපනය ලැබීමේ අපේක්‍ෂාවෙන් ඇඟිලි ගනිමින් සිටිනා සිසු දරු දැරියන් වෙත ශක්තිය සපයමින්, පසුගිය පාස්කු ඉරුදින කටුවාපිටිය සහ කොච්චික‌ඩේ දේවස්ථාන වලදී සිදුවූ ඛේදවාචකයෙන් විපතට පත්වූ දරුවන් වෙනුවෙන් ‘ශිල්ප දිරිය’ ශිෂ්‍යත්ව ප්‍රදානය, පසුගිය දෙසැම්බර් මස 01 වන දින කොළඹ ෂැංග්‍රිලා හෝටලෙයේදී සිදුවිය. ළමුන් තුළ ධෛර්ය සම්පන්න බවක් ඇතිකරමින් ඔවුනට සිය අනාගත සිහිනයන් හඹා යාම සඳහා වූ නව පෙලඹවීමක් ඇති කරවීමේ අරමුණින්, මෙම දිගුකාලීන ශිෂ්‍යත්ව වැඩසටහන, කොළඹ අගරදගුරු පදවි එඬේරාණන් වන අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. මෙම සුවිශේෂී සමාජ සත්කාර්යය කොළඹ අගරදගුරු පදවි සමාජ සේවා ආයතනය වන සෙත් සරණ - කරිටාස් කොළඹ ආයතනයේ මෙහෙයවීමෙන් සහ ඩයලොග් පදනමේ Rally to Care පදනමේ හා අගරදගුරු අරමුදලේ දායකත්වයෙන් සිදුවූවකි. ඩයලොග් ආසිආටා පදනම වෙනුවෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටාහි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, “වඩා පැහැබර අනාගතයක් වෙනුවෙන් මුළු මහත් ලෝකයේම බලාපොරොත්තුව වන්නේ දරුවන්ය. ඔවුන්ගේ ජීවිත සාර්ථකත්වයේ හිණිපෙත්ත කරා ළඟා කරවීමේ අපගේ අරමුණ වෙත යාමට ඇති මාර්ගය අධ්‍යාපනයයි. දක්‍ෂතාවලින් පිරිපුන් දරුවන් තවදුරටත් විශිෂ්ටත්වය කරා රැගෙන යාමට මෙම වැඩපිළිවෙළ තුළින් අපි අපේක්‍ෂා කරන අතර, බලාපොරොත්තු සහ අවස්ථා සහිත දීප්තිමත් අනාගතයක් ඔවුන් ඉදිරියේ ඇති බවට අප සහතික වන්නෙමු” යනුවෙන් පැවසීය.
 

More News..