brand logo

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ජපානයේ රැකියා අවස්ථා

01 December 2020

ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජූනි මස 19 දින අත්සන් කරන ලද සහයෝගිතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුනතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා නව රැකියා සඳහා අවස්ථාව හිමිව තිබේ. මෙම සහයෝගීතා ගිවිසුම ප්‍රකාරව දැනටමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය ඔස්සේ (www.slbfe.lk) අයදුම්පත් කැඳවා තරුණ තරුණියන් විශාල පිරිසක් ජපානයේ රැකියා අපේක්ෂාවෙන් ලියාපදිංචි ලබා ඇත. මෙම විශේෂ කුසලතා සහිත රැකියා අවස්ථා සඳහා ජපන් භාෂා ප්‍රවීනතා විභාගය වන JLPT අදියර 4 (N4 level) සමත්වී තිබීම අනිවාර්ය වේ. භාෂා විභාග පැවැත්වීමට අමතරව ක්ෂේත්‍ර 14ට අදාළව නිපුනතාවය හා පළපුරුද්ද සලකා බලනු ලබන අතර රැකියා සඳහා අයදුම් කළ හැක්කේ වයස අවුරුදු 18 සිට අවුරුදු 45 අතර තරුණ තරුණියන්ට පමණි. දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව රැකියා ප්‍රවර්ධන කටයුතු වේගවත් කරලීමේ අපේක්ෂාවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ අමාත්‍ය පියංකර ජයරත්න මහතා ලබාදුන් මාර්ගෝපදේශනය යටතේ ලියාපදිංචි අයදුම්කරුවන් සඳහා පැවැත්වීමට නියමිත භාෂා හා කුසලතා පරීක්ෂණය මෙරටේ පැවැත්වීම අරමුණු කරගෙන අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ විශේෂ ත්‍රෛපාක්ෂික සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. එම සාකච්ඡාවකට ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය රොකුයිචිරෝ මිචී මහතාගේ ප්‍රධානත්වයෙන් දහඅට දෙනෙකුගෙන් සමන්විත ජපන් නියෝජිත පිරිසක් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හත්දෙනෙකු, ජපානයේ ශ්‍රී ලංකා තානාධිපතිතුමා සහ එහි නිළධාරීන් ද ඉහත සාකච්ඡා සඳහා සහභාගි විය. මෙහිදී විශේෂ කුසලතා ඇති ශ්‍රමිකයින් ජපන් රටට ගෙන්වාගැනීමේ ක්‍රමවේදය සහ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජපන් භාෂා හා කුසලතා පරීක්ෂණයට සූදානම් වීම සම්බන්දයෙන් වූ මූලික කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා විය. ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂාව ඉගෙනගැනීම සඳහා ඇති පුළුල් ඉඩප්‍රස්ථා නිසාවෙන් ජපන් භාෂා සහ කුසලතා ඇති අයදුම්කරුවන් විශාල පිරිසක් මෙරට සිටින බව කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙම සාකච්ඡාවේදී පෙන්වාදුන් අතර, පැවැත්වීමට නියමිත භාෂා හා නිපුනතා පරීක්ෂණය සඳහා අවශ්‍ය කෝටාව ලබාගත හැකි පරිගණක අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථාන මෙරට තුළ පවතින බව ද එහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී. යෝජිත කරුණු පිළිබඳව ජපන් නියෝජිත කණ්ඩායම දැනුවත් වීමෙන් පසු එම පිරිස ඉතා සතුටට පත්වූ බව දැක්වූ එහි ප්‍රධාන නියෝජ්‍ය සහකාර අමාත්‍ය රොකුයිචිරෝ මිචී මහතා ප්‍රකාශ කරන ලදී. පැය 2ක් පුරා පැවති මෙම ත්‍රෛපාර්ශවික සාකච්ඡාවේදී එරට අදාළ රාජ්‍ය ආයතන හා ඉක්මනින් සාකච්ඡාකොට ශ්‍රී ලංකාව තුල භාෂා හා නිපුනතා පරීක්ෂණය කඩිනමින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව නියෝජිත පිරිස ප්‍රකාශ කළහ. ජපන් රජය විසින් ලබාදීමට නියමිත රැකියා පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ අමාත්‍ය පියංකර ජයරත්න මහතා දැඩි උද්යෝගයෙන් සිටින බවත්, මෙම සාකච්ඡාව අවසන් කරමින් කාර්යාංශ සභාපති කමල් රත්වත්තේ මහතා ජපාන නියෝජිතයන් වෙත ප්‍රකාශ කරන්නට විය. මෙම විශේෂ කුසලතා සහිත ජපන් රැකියා පිළිබඳ වැඩිවිස්තර කාර්යාංශ වෙබ් අඩවිය වන 'www.slbfe.lk' වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් නිවැරදිව ලබාගැනීමට අවස්ථාව උදාකර ඇත.
 

More News..