brand logo

ශ්‍රී ලාංකිකයන් වෙසෙන කොරියාවේ නගර 2ක් ජනශුන්‍ය වෙයි

24 February 2020

මාරාන්තික කෝවිඩ් 19 වෛරසය සීග්‍රයෙන් පැතිරයෑම ආරම්භ වීමත් සමග දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් බහුලව වාසය කරන ඩේගු සහ චෙන්ඩෝ නගර විශේෂ පරිපාලන සහ අවදානම් කලාප ලෙස එරට රජය නම් කර ඇත. මිලියන 2.5ක ජනතාවක් වාසය කරන එම නගර මේ වන විට ජනශුන්‍ය ප්‍රදේශ බවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. දකුණු කොරියාවෙන් මේ වන විට කෝවිඩ් 19 ආසාදිතයන් 433ක් වාර්තා වී ඇති අතර ඉන් 229ක්ම වාර්තා වී ඇත්තේ ඊයේ (23 වැනිදා) දහවල් 12.00න් අවසන් වූ පැය 24ක කාල සීමාව තුළය. දකුණු කොරියාවෙන් මේවන විට වාර්තා වන කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 2කි. මේ වන විට සමස්ත දකුණු කොරියාවටම බලපාන පරිදි හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් 9 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 4 දෙනෙකු වෛරස ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමග එරට සියලු හමුදා කඳවුරු වසා දැමීමට රජය පියවර ගෙන තිබේ. මෙලෙස දකුණු කොරියාවේ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඇත්තේ ‘ෂිං වොන්දි’ නමැති ආගමික සංවිධානයකට සම්බන්ධ විශාල පිරිසක් අවංගල්‍යය අවස්ථාවකට සහභාගි වීමෙන් අනතුරුවය. දැනට වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් 231ක්ම අදාළ අවමංගල්‍යයට සහභාගි වී ඇති බව වාර්තා වේ. ඒ අනුව එම ආගමික සංවිධානයට අයත් සාමාජිකයන් 9000කට අධික පිරිසක් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට කොරියානු බලධාරීන් පියවර ගෙන ඇත. නයන තරංග ගමගේ
 

More News..