brand logo

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස

13 March 2019

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුන තුළදී උපරිම දක්ෂතා දක්වමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය වාර්තා කිරීමට සමත් විය. මෙම තරගාවලියේ තරග තුනක් තුළදී පිත්තෙන් වැඩි දස්කම් දැක්වූ එකම පිතිකරුවා වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම එම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් පමණි. ඔහු පළමු තරගයේදී ලකුණු 81ක්, දෙවන තරගයේදී ලකුණු 94ක් සහ තෙවන තරගයේදී ලකුණු 121ක් රැස්කර ගැනීමට සමත් විය. ඒ අනුව තරග තුනක් තුළ ක්වින්ටින් ඩි’කොක් ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 296කි. ක්වින්ටින් ඩි’කොක් සහ ශ්‍රී ලංකා උපනායක නිරෝෂන් දික්වැල්ල දෙදෙනාට ඇත්තේ එකම භූමිකාවකි. එනම් කණ්ඩායමේ කඩුලු රකින්නා වෙමින් ආරම්භක පිතිකරුවාගේ කාර්යය ද ඉටු කිරීමයි. ක්වින්ටින් ඩි කොක් තරග 3 කදී ලකුණු 296 ක් ලබාගනිද්දි ඔහුගේ ප්‍රතිවාදියා වන දික්වැල්ල ලබාගත්තේ ලකුණු 16 ක් පමණි. කණ්ඩායමේ උපනායකයා වී සිටියදීත් තරග තුනේදීම ඔහු මුහුණ දී ඇත්තේ පන්දු 24 කට පමණි. උපුල් තරංගට මෙම තරගාවලියේදී ක්‍රීඩා කිරීමට ලැබුනේ එක් අවස්ථාවක් පමණි. එම තරගයේදී තරංගට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 9ක් පමණි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් දෙදෙනෙකු වන නායක ලසිත් මාලිංගට සහ තිසර පෙරේරා මෙතෙක් දවා ගැනීමට හැකි වූයේ ලකුණු 3 බැගින් පමණි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉම්රාන් තාහීර් දවා ගෙන තිබෙන කඩුළු සංඛ්‍යාව 7කි. මෙම තරගාවලිය පුරා මෙතෙක් වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථාන 4ම හිමිව තිබෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ටය. තරගාවලිය ජය ගෙන ඇති පසුබිමක සිටින දකුණු අප්‍රිකාව ඉතිරි තරග දෙක ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස සලකමින් ඔවුන් කණ්ඩායමේ වෙනස්කම් සිදුකරයි. ඒ අනුව ජේ. පී. ඩුමිනි සහ ඒඩින් මාක්රම් අද තරගයට ඇතුළත් කර තිබේ. හෂීම් අම්ලා එක්දින සංචිතයට කැදවුවද, ඔහුගේ පියාගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් නැවත වරක් අම්ලා සංචිතයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලිය ජය වාර්තා කරමින් ඉන් නොනැවතී, ඉදිරි ලෝක කුසලානය සදහා කණ්ඩායම සැළසුම් කරති. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව ඉදිරි‌යේ ලැබූ පරාජයෙන් ඇඟ බේරා ගැනීම සදහා එක් තරගයක් හෝ ජය ගැනීමට ක්‍රීඩකයින් වෙනස් කරමින් සිටියි.
 

More News..