brand logo

ශ්‍රී ලංකා රග්බි පිටියට අලුත් කාඩ් එකක්

27 November 2019

රග්බි තරගයක් අතරතුර ක්‍රීඩකයින් අතින් සිදුවන වැරදි අතපසුවීම් සඳහා දඬුවම් තීරණය කිරීමට විනිසුරුවරුන් විසින් භාවිත කරන රතු සහ කහ කාඩ්පත්වලට අමතරව අලුතෙන් නිල් කාඩ්පතක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවරගෙන තිබේ. රග්බි ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයින්ගේ හිස ආශ්‍රිතව සිදුවන අනතුරු බහුල වන බැවින් අදාළ නිල් කාඩ්පත එකී අනතුරුවලට ලක්වන ක්‍රීඩකයින් සඳහා පමණක් භාවිත වෙයි. ඒ අනුව මේ සති අන්තයේ ආරම්භ වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිටම එය භාවිත කරන බවට සඳහන් වේ. ආසියාවෙන් බැහැර බොහෝමයක් රටවල් මෙම ක්‍රමය යොදාගෙන තිබුණද, හොංකොං සහ මලයාසියාව හැරුණු විට ආසියාතික කලාපයෙන් නිල් කාඩ්පත ජාතික මට්ටමේ තරගාවලියක් සඳහා භාවිත කරන එකම රට වනුයේ ශ්‍රී ලංකාවයි. මෙහිදී තරගයක් අතරතුර යම් ක්‍රීඩකයෙක් හිස ආශ්‍රිත ආබාධයකට ලක්වුවහොත් ඔහුට නිල් කාඩ්පත ලබාදීමට තරගයේ ප්‍රධාන විනිසුරුවරයාට අවස්ථාවක් පවතී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි වෛද්‍ය කමිටු සභාපති වෛද්‍ය නමිත් සංකල්පන මහතාගෙන් විමසන ලදුව ‘අපි මේ තරගාවලිය පුරාවට ලෝක රග්බි අදියර දෙක පාඨමාලාව සමත් වෛද්‍යවරුන් 8 දෙනෙක් යොදවලා තියෙනවා. යම්කිසි ක්‍රීඩකයෙක් නිල් කාඩ්පතක් ලැබූ මොහොතේ පටන් අදාළ ක්‍රීඩකයාට අවශ්‍ය මූලික ප්‍රතිකාර කිරීම තරගයට යොදවලා ඉන්න වෛද්‍යවරයා සතු වගකීමක්. ඒ විතරක් නෙමෙයි ඉන් අනතුරුව අදාළ ක්‍රීඩකයාට එම ආබාධය සුවවන තෙක්ම ඔහු කෙරෙහි රග්බි වෛද්‍ය කමිටුවේ අවධානය යොමුවෙලා තියෙනවා. අනතුරකට පත් ක්‍රීඩකයා යළිත් වරක් තරගයට ක්‍රීඩා කරනවානම්, ඔහුගේ ආබාධය සුව බවට වෛද්‍ය කමිටුවෙන් නිල වශයෙන් තීරණය කරනතෙක් ඔහුට නැවත ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් නැහැ’ යි යනුවෙන් පැවසීය. මෙම නිල් කාඩ්පත, වෛද්‍ය නමිත් සංකල්පන මහතාගේ යෝජනාවක් වන අතර එයට ශ්‍රී ලංකා රග්බි සංගමයේ අනුමැතිය ලැබීමෙන් පසුව මෙවර ලීග් රග්බි තරගාවලිය සඳහා එම ක්‍රමවේදය යොදාගැනීමට පියවරගෙන තිබේ. ගයාශාන් විතානආරච්චි වෛද්‍ය නමිත් සංකල්පන
 

More News..