brand logo

ශ්‍රී ලංකා පොලිසිය මධුෂ්ගේ පොලිසිය වුණේ මෙහෙමයි

21 September 2020

ලංකාවේ දූෂිත රාජ්‍ය ආයතන අතර හැමදාමත් කප් ගැසුවේ පොලිස් දෙපාර්තමේන්තුවය. එය මෙකල වැඩියෙන් කතාබහට ලක්ව ඇත්තේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් පිරිසක් කුඩු ජාවාරමට සම්බන්ධ බවට හෙළි වීමත් සමගය. ඒ අතරේ පොලිසියේ කීර්තිමත් අංශයක් වන විශේෂ කාර්ය බළකායේද සායම සේදී ගියේ මේ කුඩු ජාවාරමට එහි පිරිසක් සම්බන්ධ බව අනාවරණය වීමත් සමගය. පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් නිලධාරියකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. ජී. බී. කොටකදෙණිය කියන හැටියට මේ ජාවාරමට පොලිසිය සම්බන්ධ වී ඇත්තේ අද ඊයේක සිට නොවේ. ආර්ථික විද්‍යා උපාධිය දින 1966 දී සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස පොලිසියට එක් වූ ඔහු වසර 36 ක පොලිස් සේවය නිමා කළේ පොලිස්පති පුටුව පෙනි පෙනීය. ඔහුට එම පුටුව අහිමි වූයේ නීතියට පටහැනිව රාජකාරී කිරීම ප්‍රතික්ෂේප කළ නිසා බව ප්‍රසිද්ධ රහසකි. මේ වර්තමානයේදී ශ්‍රී ලංකා පොලිසියට අත්වී ඇති ඉරණම පිළිබඳව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එම්. ජී. බී. කොටකදෙණිය දැක්වූ අදහස්ය. [caption id="attachment_99697" align="alignright" width="300"] විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නි‌යෝජ්‍ය පොලිස්පති එච්.එන්.ජී.බී. කොටකදෙණිය[/caption] ‘‘මේ දිනවල කුඩු පාතාලය, කුඩු අක්කලා නංගිලා, කුඩු බෙදූ පූජ්‍ය පක්ෂය, කුඩු රාලහාමිලා සහ කුඩු බෙදූ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව විවිධ කතා මතුවේ. මේ කතාවන්හි ‘පොලිසිය’ යන නාමය නොගැවී ඇති තැනක් සෙවීම කළුනික සෙවීම තරම්ම අපහසුය. එපමණක් නොව පොලිසියේ සහයෝගය නැතිව කුඩු බෙදූ සහ කුඩු ගෙන්වූ පාතාලයන් සහ කුඩු රජුන්ද නොමැති තරම්ය. මේ නිසාම සමාජය ‘කාකි ඇඳුම’ ඇඟලාගත් නිලධාරීන් දෙස බලන්නේ මධුෂ්ගේ ගෝලයන් දෙස බලනා ආකාරයටය. එතරම්ම පොලිසියේ ගෞරවය බිංදුවටම වැටි අවසන්ය. නිරායුද සාමාන්‍ය වැසියාගේ ආරක්ෂාව පිළිබඳව සිටින එකම ආරක්ෂකයා වන පොලිසිය අද තරුණ ප්‍රජාවගේ මානසික ආරක්ෂාව පවා විකුණමින් සිටින තැරැව්කරුවන් වී අවසන්ය. කෙසේ වෙතත්, මෙම අපකීර්තිමත් තත්ත්වය ‘ශ්‍රී ලංකා පොලිසියට’ අද ඊයේ පැමිණි දෙයක් නම් නොවේ. මෙය වසර ගණනකට පෙර ‘කුඩා ඔක් බීජයක් පොළොවේ පැළ කළා සේ’ පැළවී වසර ගණනකට පසු ‘මහා ඔක් ගසක් සේ’ දලුලා වැඩුණු විශාල සමාජ ප්‍රශ්නයකි. මෙහි ආරම්භය කොතැනක දැයි මාහට අවබෝධ වූයේ 1998 වසරේදී මා පොලිස්පතිවරයා ලෙස පත්වීමට තිබියදී අපරාධ හා අපරාධ බුද්ධි අංශය භාර නිලධාරියා ලෙස පත් කළ මොහොතේදීය. මේ නව පත්වීම පිළිබඳව හිතේ කහටක් නොතිබුණු මා අලුත් තනතුරේ වැඩ භාර ගත්තේ මෙම තනතුර රටට සෙතක් සැලසිය හැකි තනතුරක් සේ සලකමිනි. ඒ අධිෂ්ඨානයත් සමග මා කළ පළමු කාර්ය වූයේ කොළඹ නගරයේ පාතාල ක්‍රියාකාරකම් මැඬලීමයි. එකල පාතාල ලෝකයේ නායකයා වශයෙන් කිරුළු දැරූ ‘නාවල නිහාල්’ අත්අඩංගුවට ගත්තේ එකී මෙහෙයුමේ පළමු පියවර තබමින්ය. නමුත්, එදා අත්අඩංගුවට ගත් නාවල නිහාල් මා සති දෙකක් සඳහා ඉන්දියාවේ වැඩමුළුවකට ගොස් නැවත පැමිණි විට ඔහු පොලිස් ඇප මත මුදාහැර තිබිණි. එයත් සිදුවී තිබුණේ එකල පොලිස්පතිවරයාගේ උපදෙස් මතය. මේ ආකාරයට යම් යම් කාරණාවන් සඳහා පොලිස්පතිවරයාගේ මැදිහත් වීම් අද මෙන්ම එදත් සිදුවිය. එදා ඒවා ඇසීමට හෝ ඒවාට විරුද්ධව ක්‍රියාකිරීමට කිසිවකුවත් සිටියේ නැත. අද අඩුම තරමේ පොලිසියේ දුක කීමට පොලිස් කොමිසමක් හෝ ඇත. නමුත්, එය ‘දුක්ගන්නා රාළ’වුවත් ‘දුකට විසඳුම්’ නොදෙන ආයතනයක් ලෙස හැඳින්විය හැක. කෙසේ වෙතත්, එදා අපරාධ කොට්ඨාසය භාර නිලධාරියා ලෙස කටයුතු කළ මා එක් දිනයක සිදුවූ සුවිශේෂී සිදුවීමක් නිසා ‘ශ්‍රී ලංකා පොලිසිය’ ඇත්තටම අයිති පාතාලයට යැයි මට සිතුණි. එක්තරා දිනයක මාගේ අනුදැනුමකින් හෝ පොලිස්පතිතුමාගේ පූර්ණ දැනුවත් කිරීමකින් තොරව පොලිස් මූලස්ථානයේ සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙක් අපරාධ කොට්ඨාසයට මාරු කර එවා තිබිණි. ඔහු පිළිබඳව පළමු සැකය අපට නැඟුණේ නාවල නිහාල් අත්අඩංගුවට ගන්නා රහසිගත මෙහෙයුමේදීය. එම මෙහෙයුමේ නිලධාරියකුව සිටි ඔහු විටින් විට නාවල නිහාල්ට දුරකථන ඇමතුම්දී ඔහුව අල්ලා ගැනීම සඳහා පොලිසිය පැමිණෙන බව සඳහන් කර තිබිණි. ලෙහෙසියෙන් අල්ලා ගැනීමට සිටි ඔහු මේ දුරකථන ඇමතුම් නිසා එදා අපෙන් ගැලවී පලා ගියේය. පසුව අප උපාය දූතයකු මාර්ගයෙන් දැනගත්තේ එම සහකාර පොලිස් අධිකාරිවරයාට ස්ථාන මාරුව පවා දී ඇත්තේ නමගිය අපරාධකාරයකු වන නාවල නිහාල් විසින් බවයි. එමෙන්ම, නාවල නිහාල් පොලිස්පතිවරයාගේද හොඳ හිතවතෙකි. ඔහුගේ අනුදැනුම මත තමන්ට අවශ්‍ය කටයුතු කර ගැනීමට පාතාල නායකයෝ එදා පොලිස් නිලධාරීන් භාවිත කළහ. එපමණක් නොව, මෙම වකවානුව ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් පාලනය කළ කාලයක් වූ අතර ඇයගේ ඉල්ලීමට පවා පොලිස් සේවයට පාතාල සාමාජිකයෝ බඳවා ගත්හ. ඒ පූර්වාදර්ශය අද මෙතරම් දුරකට පොලිසියේ පරිහානියට හේතුවක් වූ බව මා සඳහන් කරන්නේ වසර තිස් හයක පොලිස් සේවයෙන් ලද අත්දැකීම් සමගය. අද රටේ දැඩි ආන්දෝලනයට ලක්ව තිබෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙවත් ‘නාකොටික්’ හි නිලධාරීන් කුඩු බෙදා හැරීමේ ජාලය සමග කටයුතු කළේ අද ඊයේ නම් නොවේ. එය 1999 වසරේ සිට මේ දක්වා කිසිදු ලැජ්ජාවකින් තොරව පවත්වාගෙන ආ කටයුත්තකි. එනම්, එකල නාකොටික් හි ප්‍රධානියා වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. ඔහු කලක් නුගේගොඩ ප්‍රදේශයේ කප්පම් කල්ලි සමග සුහදව කටයුතු කළේය. පසුව, පොලිස් සේවයට බැඳී දිගටම කලින් කළ රැකියාව තවදුරටත් කරගෙන ගියේ පොලිසියේ සෙවණැල්ලේ ආරක්ෂාව විඳිමින්ය. මෙකල ඔහුගේ නවාතැන් පොළ වූයේ පොලිස් කොස්තාපල්වරියන්ට නවාතැන් ගැනීමට තිබූ නේවාසිකාගාරයේ යාබද කාමරයකි. මෙම කාමරයේ ශීතකරණයේ සිට රූපවාහිනිය දක්වාම තිබිණි. එක්තරා දිනයක පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අඩන්තේට්ටම් කිරීමට පැමිණියා යැයි පවසමින් ඔහුට විරුද්ධව ඈ නඩු මඟට බැස්සාය. ඒ සමග ක්‍රියාත්මක වූ මා ඇතුළු කණ්ඩායම ඔහුගේ ක්‍රියාකලාපයන් ගැන පොලිස්පතිව දැනුවත් කළේය. නමුත් එයින් සිදුවූයේ සිටි තැනින් පහත හෙළීම වෙනුවට සිටි තැනටත් වඩා ඉහළ තනතුරක් දී ඔහුව මාරු කිරීමය. ඒ ආකාරයට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පැමිණි දා සිටම කළේ හුරුපුරුදු රැකියාව කුඩු සමග දියුණු කිරීමය. එයට හොඳම නිදසුන වන්නේ හලාවත ප්‍රදේශයෙන් හමුවූ කුඩු තොගයයි. එහි අඩංගුව තිබුණේ කිලෝ දොළහක් වුවත් එය කිලෝ දහයකට අඩුකර අධිකරණයට ඉදිරිපත් කිරීමේ විශේෂ දක්ෂතාවක් ඔහු සතුවිය. එදා කුඩු අල්ලා දෙන නිලධාරීන්ට රජය මගින් ත්‍යාග මුදලක් වශයෙන් දස ලක්ෂයක් පිරිනැමුවේය. එයත් ලබා ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉතිරි කුඩු කිලෝ දෙක නැවතත් අයිතිකරුවන්ට භාරදී එයින්ද මුදල් ගත්තේය. අවසානයේදී පොලිස්පතිවරයාටත් නොතිබුණු තරම් වාහන, පොල් වතු, නිවාස තුනක් සහ මිල මුදල්වලින් පොහොසත් වීමට ඔහුට හැකිවිය. මෙලෙස එදා මුල් බීජය රෝපණය වන මොහොතේ එය සහමුලින්ම ඉවත් කළේ නම් අද ‘ශ්‍රී ලංකා පොලිසිය’ යනු ගරුගාම්භීර ආයතනකි. නමුත්, අද කුඩු සහ පාතාලය පොලිසිය විසින් වර්ධනය කිරීම පමණක් නොව ප්‍රවර්ධනයද කරන්නේය. එපමණක් නොව, පානදුරේ පිහිටි වලාන දූෂණ මර්දන ඒකකයට පවා එදා ප්‍රධානීන් ලෙස පත්කළේ පොලිස්පතිගේ හිතවතුන් මෙන්ම අතිශයින්ම දූෂිත නිලධාරීන්ය. එයට හොඳම නිදසුන සපයන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙකි. ඔහු හිටපු පොලිස් ප්‍රධානියෙකුගේ පුතෙකි. එමෙන්ම, ඔහුව වලාන දූෂණ මර්දන ඒකකයට අනුයුක්ත කරන ලද්දේ ඔහුගේම පියා විසිනි. කෙසේවෙතත්, පොලිස් සේවයට සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස ඔහු පැමිණියද පියාගේ සියලුම බලතල අවභාවිත කරමින් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටල් සහ සම්බාහන මධ්‍යස්ථානවලින් කප්පම් ලබා ගත් තැනැත්තෙක්ද වේ. එපමණක් නොව, ඒ සියලු සම්බාහන මධ්‍යස්ථානවලින් නොමිලේ සේවය ගත් ප්‍රධාන පෙළේ සේවාදායකයා වන්නේද ඔහුය. එමෙන්ම, ඔහු විසින් පෞද්ගලික වධකාගාරයක් ද පවත්වාගෙන ගියේය. එවන් දූෂිත නිලධාරියකු පොලිස් සේවයට බඳවාගෙන පියා විසින්ම උසස්වීම් ලබාදීමටත් කටයුතු කිරීම මාගේ සේවා කාලය තුළ දැකගැනීමට ලැබූ අප්‍රසන්නම සිදුවීමකි. මේ ආකාරයට 1998 සිට පඩිපෙළක් නැග එන්නා සේ මේ දක්වාම ශ්‍රී ලංකා පොලිස් සේවය රාජ්‍ය අනුග්‍රහයත් අතැතිව ලංකාවේ දූෂිතම දෙපාර්තමේන්තුව බවට පොලිසිය පත්වී අවසන්ය. එදා පාතාලයට සහයෝගය දුන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ට පවා යම්කිසි සහයෝගයක් දුන් බව මාගේ හැඟීමයි. එයට ආසන්නම සිදුවීම වන්නේ 1996 වසරේදී කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මා ඇරඹූ ත්‍රස්ත මර්දන මෙහෙයුමයි. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අවිආයුධ සමග දහස් ගණනින් අගනුවරට පැමිණෙන්නේ කෙසේද කියා අපි සොයා බැලුවෙමු. අපට අවබෝධ වූයේ කොළඹ අවට පිහිටි ලැගුම්හල් එම ත්‍රස්තවාදීන්ගේ වාසස්ථාන වන බවයි. එය අද පාතාලයන් කුඩු බෙදාහැරීමේ සිට මිනී මැරීම දක්වාම කොළඹ අවට පිහිටි ලැගුම්හල් භාවිත කිරීමට පෙලඹීම හා සමානය. එබැවින් සන්නද්ධ සේනාවල මෙන්ම පොදු මහජනතාවගේද සහයෝගය මත මෙම අභියෝගයට මුහුණ දීමට අපි විවිධ උපාය මාර්ගයන් සැලසුම් කළෙමු. ඒ එල්ටීටීඊ සංවිධානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලැබූ අපකීර්තිමත් ලැගුම්හල් මෙම දැවැන්ත වැටලීම්වලට හසුවිය. එසේම ක්‍රියාකාරී ලෙස ත්‍රස්තවාදයට උදව් දුන් රාජ්‍ය නොවන සංවිධාන හා ආගමික කණ්ඩායම්වල ක්‍රියාකාරිකම් සෝදිසි කිරීමටත්, ත්‍රස්තවාදීන්ට අරමුදල් ගලා ඒම වැළැක්වීමටත් මේ සමගම කටයුතු කළේය. එපමණක් නොව, කොටුවේ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය විනාශ කිරීම සඳහා සැලසුම් කරන ලද එල්ටීටීඊ ක්‍රියාකාරී සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමටද මෙම සෝදිසි කිරීම්වලදී හැකිවිය. ජනාධිපතිවරිය මරා දැමීමට කොළඹට එවන ලද පළමු වැනි එල්ටීටීඊ සැකකරු වූ මුගුන්දන් සිරභාරයට ගැනීමටත් මා ප්‍රමුඛ කණ්ඩායමට හැකිවිය. එසේම බුලර්ස් පාරේ අන්‍ය ආගමික මූලස්ථානයත් සෝදිසි වරෙන්තුවක් ලබාගැනීමෙන් පසු වටලා ඇමරිකානු මිෂනාරීවරයෙකු වන කෙනත් පෝල් වුල්ඩර් නමැත්තා විසින් සැලසුම් කළ සුදු නෙළුම් ව්‍යාපාරයට විරුද්ධව නිර්මාණය කර තිබූ පෝස්ටර් ඇතුළු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ ලේඛන විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්හ. එපමණක් නොව, ඔහුව මෙරටින් පිටුවහල් කිරීමටත් කටයුතු කළේය. නමුත්, අවසානයේදී සිදුවූයේ ජනපතිනියව ආරක්ෂා කළ මා අරලියගහ මන්දිරයට කැඳවා දෝෂාරෝපණය කිරීමය. එයට හේතුව වූයේ අන්‍ය ආගමික සභාවක් මගින් ඇයට එල්ල කළ පීඩනයයි. ඒ පීඩනයට ගොදුරු වූ මා කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පදවියෙන් ඉවත් කර පොලිස් උපසේවා මූලස්ථානය වෙත අනුයුක්ත කරන ලදී. එසේ කර මාසයක් යන්නට මත්තෙන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මහ බැංකුවට බෝම්බ ගැසූහ. එය අතිශයින්ම මා හට සමස්ත පොලිසිය පිළිබඳවම කලකිරුණු දිනයක් බවට පත්විය. එයට හේතුව වූයේ ඊට පෙර මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වෙතැයි සිතා ඊට අවශ්‍ය කටයුතු යොදමින් සිටි මොහොතක ජනපතිනිය විසින් එම ධුරයෙන් මා ඉවත් කළ නිසාය. කෙසේ නමුදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියාද එකල අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත ජනපතිනිය විසින් පොලිස්පති ධුරයට පත්කරනු ලැබුවාය. ගුරා හිටගෙන කළ දේ ගෝලයෝ දුව දුවා කරන්නට පටන් ගත්තේ පොලිසියේ ඉහළ තැන්වලට වැරදි පුද්ගලයන් පත්කිරීම නිසාය. එදා එක් බීජයක් වපුරා අද මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට ලක්වූ ඒ බීජයේ හිමිකරුවා වන්නේ එදා කුඩු කිලෝ දෙකින් ඇරඹි නාකොටික් කුඩු මෙහෙයුම දුරදිග යන්නට තැබූ ආණ්ඩුවයි. එමෙන්ම, අද කුඩු සහ පාතාලය නැති කිරීමට පැමිණි වර්තමාන රජයේ කාර්යභාරය විය යුත්තේ පොලිසිය මුලින්ම සුද්ධ කිරීමය. ඒ සඳහා අතීතයේදී අපි දුටු අප්‍රසන්න සිද්ධීන් යළි වළක්වා ගැනීමට ක්‍රමවේදයක් ඇතිකර ගත යුතුය. එයට සහයෝගය දැක්වීමට අතීතයේ සිටි උසස්, විනයගරුක, කීර්තිමත් සහ දූෂණයෙන් තොර පොලිස් නිලධාරීන් මග බලාගෙන සිටින බව මා මතක් කළ යුතුමය. හර්ෂණී දිසානායක ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..