brand logo

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු බංග්ලාදේශ පොලීසියට

26 October 2020

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවකු වූ ෆකීර් අලී බංග්ලාදේශ පොලිස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස පත්වී තිබේ. ඊයේ (25 වැනිදා) අළුයම ඔහු බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. සයිප්‍රස් ජාතික නිකලස් විටෝවික්ගෙන් පසු හිස්වන අදාළ තනතුර සඳහා මෙලෙස ෆකීර් අලී තෝරාගෙන ඇති අතර ඒ අනුව එළැඹෙන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ සිට පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් ඔහු වැඩ භාර ගැනීමට නියමිතය. මෙම පොලිස් ක්‍රීඩා සමාජය සඳහා උතුරු ඇමරිකානු ජාතිකයෙකු වන සිඩ්නි රිවේරා සහ තවත් කිරිගිස්තාන ක්‍රීඩකයන් දෙදෙනෙකු විදෙස් ක්‍රීඩකයන් ලෙසින් ක්‍රීඩා කරයි. ඉකුත් වසරේ පැවැති බංග්ලාදේශ ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ ශූරතාවද දිනා ගන්නට සමත් වූයේ පොලිස් ක්‍රීඩා සමාජයයි. 2019 වසරේ දෙසැම්බරයේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලින් පසු ජාතික පාපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වුණු අලී, ඉන් අනතුරුව එක් තරගාවලියක් සඳහා මාතර සිටි ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙසින්ද, කටයුතු කළේය. අලී 2018 වසරේ සිට 2019 වසර දක්වා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කළ අතර එවක දී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වූ නමුත් උතුරු කොරියාව හමුවේ ගෝල 1-0ක් ලෙස සහ ටර්ක්මෙනිස්ථානය හමුවේ ගෝල 2-0 ලෙස පරාජය වීම වැනි තියුණු අවස්ථා විශේෂ විය. චතුර රණසිංහ
 

More News..