brand logo

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙ අපේක්ෂකත්වයෙන් පොහොට්ටුවට සියයට 50%ක් ශ්‍රී.ල.නි.ප.යට 25%

14 March 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන් 262 හා ජාතික ලැයිස්තුවේ 29 දෙනා අනුව අපෙක්ෂකයින් ප්‍රතිශතයක් ලෙස බෙදා ඇති අතර ඉන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 25% ආසන්න ප්‍රමාණයකුත්, ජාතික නිදහස් පෙරමුණට සියයට දහයක් ලෙසත් බෙදී ඇති බව වාර්තා වේ. මහජන එක්සත් පෙරමුණට සියයට අටකට ආසන්න ප්‍රමාණයක්, ලංකා කම්කරු කොංග්‍රසයට සියයට පහකට ආසන්න ප්‍රතිශතයක් ලෙස අපේක්ෂයන් බෙදී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමයට හා සම සමාජ පක්ෂයට එකම ප්‍රතිශතයකින් අපේක්ෂකයන් බෙදී තිබේ. ඊට අමතරව කොමියුනිස්ට් පක්ෂයට, දේශවිමුක්ති මහජන පක්ෂය සහ ජාතික සංවිධාන වන වියත් මග, රණවිරු සංසදය , උගත් විද්වත් සන්ධාන ආදියටද අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අපේක්ෂකත්වය ලැබී නොමැති අතර එම පක්ෂයෙන් අපේක්ෂකයන් 40ක් පමණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබේ. ගාල්ලෙන් ශාන් විජේලාල්ද සිල්වාටත්, බදුල්ලෙන් නිමල් සිරිපාලද සිල්වාටත් කෑගල්ලෙන් රංජිත් සියඹලාපිටියටත් ගම්පහින් ලසන්ත අලගියවන්නට අපේක්ෂකත්වය ලැබී ඇත. බදුල්ලේ චාමර සම්පත්ට හා කෑගල්ලේ එච්.ආර්. මිත්‍රපාලට අපෙක්ෂකත්වය ලැබී නොමැති බව වාර්තා වේ. කුරුණෑගල හා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුව සිකුරාදා රාත්‍රිය වන තෙක් අත්සන් කර අවසන් කර නොතිබූ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ ලැයිස්තුවේ දෙවැනි තැනට අත්සන් කර ඇත. මීට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියොජනය කරන වෛද්‍යවරුන් 4 දෙනකු සමග වෛද්‍යවරුන් හය දෙනෙක් නීතිඥයන්, මහචාර්යවරුන්, යුද හමුදාවේ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් අලුත් මුහුණු ලෙස තරග කිරීමට අපේක්ෂකත්වය ලබා තිබේ. පසුගිය ආණ්ඩුව කාලයේ විපක්ෂයට එක්වූ විජයදාස රාජපක්ෂ, කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, අශෝක ප්‍රියන්ත පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද, දුනේෂ් ගන්කන්ද රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද, ආනන්ද අලුත්ගමගේ මහනුවර දිස්ත්‍රික්කයෙන්ද, ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ වලේන්ද්‍රන් මඩකළපුව දිසත්‍රික්කයෙන්ද පොහොට්ටුව ලකුණින් තරග කිරීම නියමිතය. කෙසේ වෙතත් වසන්ත සේනානායක අපේක්ෂකත්වය ඉල්ලා නොමැත. ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ නාම යෝජනා සකස් කිරීම ගෙවුණු මැතිවරණයට වඩා මෙවර පහසු වූ බවයි. පසුගිය කාලයේ මැයි රැලි සඳහා බස් රථවලින් ජනතාව රැගෙන ආ පිරිස ගැන තමන් හොඳින් දන්නා බැවින් ඒ අයට අසාධාරණයක් නොවන ආකාරයෙන් අපේක්ෂකත්වය ලබාදුන් බව ඒ බව ඔවුන් දැනුවත් කිරීමෙන් අපේක්ෂකත්ව නාම ලේඛනය සකස් කරගැනීම පහසු වූ බව සඳහන් කළේය.   චමින්ද සේනාරත්න
 

More News..