brand logo

ශ්‍රී ලංකා ටෙලිකොම් විපක්ෂ නායකගේ පදනම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි

06 January 2021

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සන්නාමය වෙනස් කිරීම සඳහා රු. බිලියන 2 ක මුදලක් වැය කළ බවට විපක්ෂ නායකවරයා ඊයේ (5) පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කළේ විපක්ෂනායකවරයා ප්‍රකාශය කිසිඳු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයක් බවයි. විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම මුදල් විදෙස් රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැය කළ යුතුව තිබූ බවයයි. කෙසේවෙතත්, සිය සමාගමේ මුදල් එවැනි කටයුත්තක් සඳහා යොමු කිරීම විපක්ෂ නායකවරයා හොඳින් දන්නා පරිදි ආයතනික පරිපාලන මූලධර්ම, මුල්‍ය ක්‍රමවේද සහ පාර්ශ්වකරුවන්ගේ අභිලාශ උල්ලංඝනය කිරීමක් වන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පැහැදිලි කර සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සන්නාම එකම සන්නාමයක් ලෙස ඒකාබද්ධ කෙරුණු අතර, එහි අරමුණ සියලු ශ්‍රී ලාංකිකයන් හට විශිෂ්ට සේවාවක් පිරිනැමීම බව එම සමාගම පෙන්වා දෙයි. එම සන්නාම ඒකාබද්ධ කිරීම පිළිබිඹු වන පරිදි නව ආයතනික සන්නාම ලකුණ නිර්මාණය කිරීම ඉතා අවම මුදලකින් සිදු කරන ලද්දක් බවද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සදහන් කරයි. සන්නාම ඒකාබද්ධ කිරීම හරහා සමාගම් දෙකෙහිම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින්, පාරිභෝගික පදනම තවදුරටත් වර්ධනය කර ගැනීම සහ ඉපැයීම් සහ ලාභ වැඩිදියුණු කර ගැනීම අරමුණ වී තිබේ. 2020 වසරේදී, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගිය වසර 5 ක කාලයක් පුරා එම සමාගම තුළ සිදු වූ නාස්තිය විශ්ලේෂණය කර නාස්තිය අවම කර ගනිමින් අක්‍රීය වත්කම්වලින් ලාභ උත්පාදනය කිරීම සඳහා අර්ථවත් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට කටයුතු කළ බව එම සමාගම පෙන්වා දෙයි. එම පසුබිම තුළ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විපක්ෂ නායකවරයාගේ මෙම වගකීම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බව එම නිවේදනය සදහන් කර තිබේ. යම් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුනු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කරන ලද එතුමාගේ ප්‍රකාශය, ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කීර්ති නාමයට හානි කිරීමක් බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
 

More News..