brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගතවන සියලු ක්‍රීඩකයන් පරීක්ෂණයකට

27 May 2020

මත් කුඩු ළග තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාරගත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංඛ සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුම්ගතව සිටින සියලුම ක්‍රීඩකයින්ව ඉදිරියේදී පරීක්ෂණයන්ට භාජනය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසයි. මේ අතර අදාළ චෝදනාව එල්ල වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංඛට සියලුම ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. හොරොයින් මිලිග්‍රෑම් 2.7ක් ළග තබා ගැනීම හේතුවෙන් ශෙහාන් මධුසංඛව ලබන ජුනි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පියවරගනු ලැබීය. කොරෝනා වෛරස ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලක්ෂ 150කට ආසන්න වටිනාකමකින් යුත් පී. සී. ආර්. යන්ත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම වෙනුවෙන් ඊයේ (26 වැනිදා) ක්‍රීඩා වෛද්‍යායතනයේ පැවැති උත්සවයේදී සභාපතිවරයා මේ කරුණු සැල කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා ‘ඇත්තටම මෙය එම ක්‍රීඩකයාගේ පෞද්ගලික දෙයක්. ඒ වගේ දේවල් අපිට පාලනය කරන්න බැහැ. ඔවුන්ගේ පරිසරය අනුව තමයි ඔවුන් ඒ විදිහට හැසිරෙන්නේ. ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්න අපි අද තීරණයක් ගන්නවා. ඒ ඉදිරියේදී ක්‍රිකට් ආයතනය සමග බැඳී සිටින සියලුම ක්‍රීඩකයින් පරීක්ෂණයකට භාජනය කරමින්’ යැයි කීවේය. මතභේදයට තුඩුදුන් හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබුණු මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ‘ප්‍රේමදාස මහත්මයා ඛෙත්තාරාම ඉදිකරන්න පටන් ගන්නකොටත් මේ වගේ ප්‍රශ්න තිබුණා. තිලංග සුමතිපාල මැතිතුමා දඹුල්ල ක්‍රීඩාංගණය පටන් ගන්නකොටත් ඔය වගේ ප්‍රශ්න ආවා. ඒ වගේ ඊටත් වැඩිය සූරියවැව ක්‍රීඩාංගණය ඉදි කරද්දි ගැටලු තිබුණා. නමුත් ඇත්තටම ඒවා දිහා බැලුවහම ඒවා අපිට දැන් දායාද වෙලා තියෙනවා’ යි කියා සිටියේය. අදාළ ඉදි කිරීම සිදු කිරීමට යෝජිත භූමි භාගය නීත්‍යනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවරාදීම පිළිබඳව කටයුතු කරන මෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ක්‍රිකට් බලධාරීන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සමග පැවැති සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට උපදෙස් දී තිබිණි. ‘එය සාමාන්‍ය ක්‍රීඩාංගණයක් විදියට හදාගෙන යන්න කියලා අපිට උපදෙස් දුන්නා. ඒ අනුව අපේ මූල්‍ය තත්ත්වය පිළිබඳවත් අධ්‍යයන වාර්තාවක් ලබාගෙන කරන්න පුළුවන් මොකක්ද කියන එක අපි ඉදිරියේදී තීරණය කරනවා’ යි සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. මීට අමතරව පොලොන්නරුව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 900ක් පමණ වියදම් කළා යැයි පැවසෙන තොරතුර අසත්‍ය බවත්, ඒ සඳහා වැයවුණේ මිලියන 100ක් බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව සිදු වන්නේ කුමන ආකාරයකින් දැයි යන්න පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දුන් සභාපතිවරයා ‘අපිට මේ අවුරුද්දට තියෙන කැලැන්ඩරයට අනුව අපි සියලු කටයුතු සිදුකරගෙන යනවා. මීළඟට අපිට තියෙන්නේ ඉන්දියාවත් එක්ක තරගාවලිය. ඔවුන් ඒ තරගාවලියට එන්නේ නැහැ කියලා නැහැ. ඒ වගේම වෙනත් රටවල්වල තරගාවලි මෙහේ පැවැත්වීම කෙරෙහි ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත්වෙලා තියෙනවා’ යි යනුවෙන් ශම්මි සිල්වා මහතා පැවසීය. ඉන්දීය ප්‍රිමියර් ලීගය ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් කිසිවක් ප්‍රකාශකර නැතත් ලබන අගෝස්තුවේදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය පැවැත්වීමට ක්‍රිකට් ආයතනයේ අපේක්ෂාව බව මෙහිදී අනාවරණය විය. ගයාශාන් විතානආරච්චි
 

More News..