brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සෝනි සමාගමට

10 July 2020

මාස ගණනක් පුරා ඇදෙමින් පැවැති ඉදිරි වසර තුන සඳහා වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රූපවාහිනී විකාශන අයිතිය ඉකුත් බදාදා රාත්‍රියේදී සෝනි පික්චර්ස් නෙට්වර්ක් ඉන්දියා සමාගම විසින් දිනා ගන්නා ලදී. මේ බව ‘අරුණ’ විසින් පසුගිය මැයි මාසයේදී නිවැරැදි ලෙසම පුරෝකතනය කළේය. ‘අද අපි විකාශන කොන්ත්‍රාත්තුව අවසාන කළා. අද දිනයේ පැමිණ තිබුණේ සෝනි සමාගම පමණයි. ඒ අනුව ඉදිරි අවුරුදු තුනේ අයිතිය සෝනි විසින් ලබා ගන්නවා’ යි යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයෙකු ‘අරුණ’ට පවසා සිටියේය. පසුගිය මාස හතර පුරා අවස්ථා හයකට වැඩි ප්‍රමාණයක් සිය විකාශන කොන්ත්‍රාත්තුව වෙළෙඳපොළේ විකිණීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහා කළද, ප්‍රමාණවත් මිලක් නොලැබීම නිසා අවසාන ගැනුම්කරුවෙකු නොලැබිණි. ඒ අනුව එම අයිතිය ලබා ගන්නා සෝනි ආයතනය මෑත භාගයේ ඕනෑම ක්‍රිකට් ආයතනයක් සමග වැඩිම කලක් විකාශන අයිතිය හිමිකරගත් ආයතනය බවට පත් වන්නේය. 2002 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් අයිතිය හොබවන්නේ මීට පෙර ටෙන් ස්පෝර්ට්ස් ලෙස හැදින්වූ සෝනි ආයතනයයි. ඉතිහාසයේ මුල් වරට මෙවර ශ්‍රී ලංකාවේ රූපවාහිනී නිෂ්පාදන අයිතිය එක් සමාගමකටත්, විකාශන අයිතිය තවත් සමාගමකටත් ලබාදීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිණි. මේ වන විටත් අදාළ නිෂ්පාදන අයිතිය ලබාගෙන තිබෙන්නේ ඩුබායිහි පිහිටි අයි.ජී.පී. ආයතනයයි. රේවත එස්. සිල්වා
 

More News..