brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට රුසියානු එන්නත

10 May 2021

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කොවිඩ් වයිරසය වෙනුවෙන් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලබාදීම පෙරේදා (9 වැනිදා) සිදු විය. බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කොවිඩ් එන්නත් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබිණි. නමුත් ඒ සඳහා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පමණක් කැමැත්ත පලකර තිබුණු අතර සෙසු ක්‍රීඩකයන් බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව එන්නත ලබා ගන්නා බවට පවසා තිබීමත් සමග එන්නත ලබා දීම කල් තැබීමට සිදු විය. එන්නත ලබාදීමෙන් අනතුරුව අදාළ තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අද (10 වැනිදා) සිට තරගාවලිය සඳහා පිටත් වන 16 වැනිදා දක්වා ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කටයුතු කරනු ඇත. ජෛව ආරක්ෂණ බුබුළ යටතේ සිටියදී පුහුණු සැසි කිහිපයකටද ඔවුන් සහභාගි වීමට නියමිතය. උද්ගත වයිරස තත්ත්වය හමුවේ බංග්ලාදේශ තරග සංචාරය යම් අවධානම් මට්ටමක පැවතියද, අද දින සිට ජෛව ආරක්ෂණ බුබුළ හා එක්වන මෙන් ක්‍රීඩකයන්ව දැනුවත් කළ බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටී. දෙරට අතර පැවැත්වෙන පළමු පුහුණු තරගය ලබන 21 වැනිදා පැවැත්වෙනු ඇත. පළමු නිල එක්දින තරගය මේ මස 23 වැනිදාත්, දෙවැනි තරගය මේ මස 25 වැනදාත්, තුන්වැනි තරගය මේ මස 28 වැනිදාටත් යෙදී තිබේ’ ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව දිවා රාත්‍රි තරග ලෙසින් පැවැත්වෙන එම සෑම තරගයක්ම ඩකාහි ශ්‍රේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා එක්වෙනු ඇතැයි සඳහන් ශ්‍රී ලංකා සංචිතය කුසල් ජනිත් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංඛ, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය. ගයාශාන් විතානආරච්චි
 

More News..