brand logo

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සිව්වැනි සාමාජිකයා කලූ ද?

01 September 2020

සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් සමන්විත වත්මන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හතර වැනි සාමාජිකයා ලෙස හිටපු ශ්‍රී ලංකා ප්‍රහාරක පිතිකරු රොමේෂ් කලුවිතාරණ ඇතුළත් වීමට වැඩි සම්භාවිතාවක් පවතින බවට ශ්‍රී ක්‍රිකට් ආරංචිමාර්ග හෙළිකර සිටී. මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (27 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් 10ක් සඳහන් ලේඛනයක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දී ඇත. මේ පිළිබඳ ඉකුත් සිකුරාදා ‘අරුණ’ විසින් කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙකු ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ අනුමැතිය සඳහා නම් 10ක් ලබාදුන් නමුත් ඒ අතුරින් කව්රුන් තෝරා ගනීදැයි නිශ්චිතව කිව නොහැකි බවකි. එමෙන්ම මෙවර එම අනුමැතිය සඳහා එකී නම් ජාතික ක්‍රීඩා සභාව වෙත යොමුවනු ඇතැයිද ඔහු විසින් කියා සිටියේය. වර්තමාන තේරීම් කමිටුවේ සාමාජිකයින් වන්නේ අශාන්ත ද මෙල් (සභාපති), විනෝදන් ජෝන් සහ චමින්ද මෙන්ඩිස් වේ. ඉදිරිපත්ව ඇති නම් අතර ෆර්වීස් මහරූෆ්, ගාමිණි වික්‍රමසිංහ, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ කලුවිතාරණගේ නම් ඇතුළත්ව ඇතත් ඉන් හතරවන සාමාජිකයා ලෙස තේරී පත්වීමේ වැඩිම ඉඩකඩක් ඇත්තේ හිටපු ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකු වන කලුවිතාරණට බව අප විසින් කළ විමසුමකදී වැඩිදුරටත් දැන ගැනීමට ලැබුණි. රේවත එස්. සිල්වා
 

More News..