brand logo

ශ්‍රී ලංකා - එංගලන්ත දෙපිලේම නායකයෝ කොරෝනා ගැන කතා කරති

12 March 2020

මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය පිළිබඳ තමන් ඇතුළු කණ්ඩායම දැනුවත් බවත්, වෛරසයට වඩා අවධානය යොමු කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (11 වැනිදා) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තමන් ඇතුළු කණ්ඩායමට උපදෙස් මාලාවක් ලැබී ඇති බව කී දිමුත්, කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව මෙහිදී පැවසීය. එහිදී කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එංගලන්ත නායක ජෝ රූට් ‘කොරෝනා වෛරසයෙන් මිදී සිටින්න අපි අවශ්‍ය ක්‍රමවේද සැලසුම් කරලා තියෙනවා. අපි මේ සංචාරය අතරතුරදී කාටවත් අතට අත දෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන ක්‍රමයකින් ආචාර කරන්න අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩිපුර ගැවසෙන්නෙ නැතුව ඉන්නත් අපිට උපදෙස් ලැබිලා තියෙනවා’ යි කීවේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට සැලසුම්කරගෙන සිටියත් ක්‍රීඩකයින්ට ඇති වූ ආබාධ තත්ත්වයන් මත එම වෙනස්කම් සිදු කිරීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ස්ථිර කණ්ඩායමක් සමගින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා නායකයාගේ අදහස විය. ‘ක්‍රීඩකයින්ගේ ආබාධයන් නිසා අපිට ස්ථිර කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරන්න සිදුවෙලා තියෙනවා. කොදෙව් සමග පැවැති එක්දින තරගාවලියේදීත් අපි ස්ථිර කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කළේ. ඒක ලොකු පහසුවක්. මීට පෙර එක තරගයක් ක්‍රීඩා කරාට පස්සේ අනෙක් තරගයේ ස්ථානයක් ලැබෙයිද නැද්ද කියලා අවදානමක් තිබුණා. දැන් ඒ අවදානම නැහැ. අපි එකම ක්‍රීඩකයින් පිරිසක් එක්ක ඉදිරියට යනවා. ඒ අතරේ නවකයින්ටත් අවස්ථාව දෙනවා. මේ දෙයින් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය වගේම ආත්ම විශ්වාසයත් හොඳ වෙනවා. එතකොට ඔවුන්ගේ උපරිම දක්ෂතාව එළියට ගන්න පුලුවන්’ යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය. මීට වසර එකහමාරකට පමණ පෙර එංගලන්තය ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේදී, ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට රංගන හේරත් සහ අකිල ධනංජය යන දඟ පන්දු යවන්නන් ඇතුළත්ව සිටියත් මෙවර ඔවුන්ගේ කාර්ය දිල්රුවන් පෙරේරා ප්‍රමුඛ යොවුන් දඟ පන්දු යවන්නන්ට පැවරෙනු ඇත. ගයාශාන් විතානආරච්චි
 

More News..